මෙරට දෙදින නිල සංචාරයක නිරත වන ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර නිල හමුව අද (අප්‍රේල් 19) පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් ඉන්දීය උප ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර ඔහු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.
දෙරට අතර පවතින ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව නායකයින් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ශිෂ්ටාචාරමය සහ සංස්කෘතික උරුමයන් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කෙරිණි.
අද උදෑසන දිවයිනට පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය හමුවීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හමු වී නිල සාකච්ඡා පැවැත්වීය. මෙම සංචාරය හරහා දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මාවතකට යොමු වනු ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














