27 April 2024
#දේශීය

ගොළුවෝ වගේ හිටියා ඇති – දුමින්ද දිසානායක කියයි

ගොලුවෝ වගේ හිටිය කාලය ඇති බවත් එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කර අන්තවාදීන්ට යලි හිස ඔසවන්න බැරි ආකාරයට අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා වෙන්න රටට අවශ්‍යය සහය ලබා දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ,මිහින්තලය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ මහකිරින්දේගම පානීය ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක රොහාන් පී ගජනායක මහතාගේ ඉල්ලීම පරිදි හිටපු පළාත් සභා අමාත්‍යය මිහින්තලය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඉලංගසිංහ මහතාගේ ප්‍රථිපාදන මත ක්‍රියාත්මක කෙරුණු මෙම ජල යෝජනා ක්‍රමය මගින් පවුල් විශාල ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමේ හැකියාව ලැබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ” මම පාර්ලිමේන්තුවේ සිදු කළ කථාවේදී කිව්වා මේ රටේ නීතියට ඉන්න බැරි නම්, ඒ නීතිය පිළිගන්න බැරි නම්, අපේ තියෙන සහෝදරත්වය පිළිගන්න බැරි නම් ඒ අය ඒ අයට ගැලපෙන තැනකට ගියාට කමක් නෑ කියලා.මේ මම කිව්වේ ජාතිවාදී කථාවක් නෙමෙයි.මරණාධාර සමිතියක් ගත්තත්, ඒ මරණාධාර සමිතියේ නීතී රීති සමූහයක් තියෙනවා, ව්‍යවස්ථාවක් තියෙනවා, මළ ගෙදරකට බීලා එන්න බෑ කියලා නීතියක් තියෙනවා නම් ඒ සමිතියේ, කෙනෙක් බීලා මළ ගෙවල් වල එනවා නම් ඒ එක්කෙනා නිසා සමිතිය අපහසුතාවට පත් වෙන්න බෑ.ඒ කෙනා සමිතියෙන් අයින් කරන්න වෙනවා.ඒ නිසා අපි ජාතිකවාදී වෙන්න ඕන.ජාතිවාදී නෙමෙයි, අපි සියලු ජාතීන්ට ආදරය කරන්න ඕන, සහෝදරත්වය තියෙන්න ඕන, අපි කොච්චර සුහද වුණත්, අතදෙන්න ලෑස්ති වුණත් කෙනෙක් ඉන්නවා නම් අපිට මේකයි ඕන කියලා.ඒ කෙනාට යන්න පුළුවන්, ඒ කෙනාට අපිත් උදව් කරන්නම්.අපිට රටක් ඕන, අපිට දේශපාලනය කරන්න, ජීවත් වෙන්න රටක් ඕන, අපේ දරුවන්ට අවසානයේ රටක් තියෙන්න ඕන.අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ, ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන, ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන, ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන, කට අරින්න ඕන තැන කට අරින්න ඕන.ගොලුවෝ වගේ හිටිය කාළය ඇති, එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කරලා අන්තවාදීන්ට යලි හිස ඔසවන්න බැරි වෙන්න අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා වෙන්න රටට අවශ්‍යය සහය ලබා දෙන්න” යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසීය.

මෙම අවස්ථාවට තිරප්පනය ප්‍රාදේශිය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන නියෝජිතයින්, රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *