27 April 2024
#දේශීය

වෛද්‍ය ෂාෆි සම්බන්ධ පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සය පුද්ගල විමර්ශන කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සදහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා කමිටු සභාපතිවරයා වන අතර, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක මහතා සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යු.ඩී.පී රත්නසිරි මහතා ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එල්.ඒ බස්නායක මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්.අයි ගුණවර්ධන මහතා, කමිටුවේ සාමාජිකයින් වේ.

මේ සම්බන්ධව මූලික විමර්ශනයක් පවත්වා නිරීක්ෂන හා නිර්දේශ සහිත මූලික විමර්ශන වාර්තාවක් සතියක් ඇතුලත ද, ලබාගත් ප්‍රකාශ හා ලිපිලේඛණ සමග සම්පූර්ණ විමර්ශන වාර්තාවක් මාසයක් ඇතුලත ද ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විමර්ශන කමිටුවට දැනුම් දී ඇත.

තව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී තීබේ.

මෙම සිදු කෙරෙන විමර්ශන වල දී වෛද්‍යවරයා වැරදිකරුවෙකු වුවහොත් නීතිය ක්‍රියාත්මක කරන බවත්, මෙවැනි ආකාරයේ වැරදි සිදු කර විමර්ශන වලදී වැරදිකරුවෙකු ලෙස ඔප්පු වන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

මේ අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ මවකගේ ඇද ඉහපතක නම වෙනස් කිරීම මගින් ළදරුවෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට තැත් කිරීම සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් පිළිබදව ද සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය මගින් දැනටමත් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉහත සිද්ධීන් සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා මෙම ප්‍රකාශය නිකුත් කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *