27 April 2024
#දේශීය

ගෝඨාභය ලැබූ ජය සාමකාමීව භුක්තිවිඳිමු..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ලබාගත් ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, භුක්තිවිඳින මෙන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් සිදු කළේ ය.

එම නිවේදනයේ මෙසේ සඳහන්ව ඇත.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගෙනඇත.

අවුරුදු පහක් මුළුල්ලේ අනේකවිධ දුෂ්කරතා විද ලබාගත් මේ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිඳු කරදරයක් නොවන ආකාරයට භුක්තිවිඳින මෙන් මම අපගේ පාක්‍ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි.  

මහජනතාව මේ තීරණාත්මක ජයග්‍රහණය අප වෙත ලබාදී තිබෙන්නේ, පසුගිය අවුරුදු පහ පුරාවටම පැවති මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වී ඇති නිසාය. 

එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවෙන ආකාරයට හැසිරීම අපි පොදු මහජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකමකි. 

පසුගිය අවුරුදු පහ මුලුල්ලේ වත්මන් ආණ්ඩුවේ දඩයමට හා අසාධාරණකම්වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස අපි විශේෂ වැඩපිළිවෙළක් යොදන බවට මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිමි.  

අපගේ ප්‍රතිවාදීන් 2015 දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එකතුකරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම ගැන මම ශ්‍රී ලංකාවාසී ජනතාවට මාගේ ප්‍රණාමයපුද කර සිටිමි. 

ජාතිවාදය වපුරවමින් කරන මේ භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට කාලය දැන් එළඹී තිබේ.

මේ ජනාධිපතිවරණය මීට කළින් පැවති සියලුම ජනාධිපතිවරණ වලට වඩා බෙහෙවින්ම වෙනස් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලතාවය නිසාය. 

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, 19 වනව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්වය ගැන සමාලෝචනයක් කර, පවතින නීතිමයරාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු. 

අවුරුදු පහක් මුලුල්ලේ අයාලේ ගිය රට යළිත් හරි මඟට ගැනීමට අපට දැන් අවස්ථාව උදාවී ඇත. 

අපගේ අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තිප්‍රකාශනයේ සඳහන් පරිදි,මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩනැගීමටමෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවෙනු ඇත. 

මේ පිළිබඳව තව නොබෝ දිනකින් වැඩි විස්තර අපි ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. 

මේ මැතිවරණයේදී ප්‍රකාශ වී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයිඅපි බලාපොරොත්තු වෙමු. 

අපගේ මාතෘ භූමියටත්, සියලු දේශමාමක ශ්‍රීලාංකිකජනතාවටත් ජයවේවා!”

Leave a comment

Your email address will not be published. Required fields are marked *