27 April 2024
#දේශීය

සොඳුරු මාතෘ භූමියක් වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙනවා : සජිත් ප්‍රේමදාස

හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වන ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබ පැතුම් පිරිනමන බවත්, රටේ පොදු ජනතාවගේ තීරණයට හිස නමන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය දැනුම් දීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

එසේම තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාටම ඒ මහතා සිය ස්තුතිය පුද කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ සිය අදහස් පල කළේය.

“පුරා වසර 25ක් මුළුල්ලේ මගේ දේශපාලන දිවියේ ප්‍රධානතම අරමුණ වුයේ මාතෘභූමියේ ජනතාවට සේවය කිරීමයි.

දිවා රෑ නොබලා මගේ ප්‍රතිපත්තීන් ජයග්‍රහණය කරවීමට කටයුතු කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්න කැමතියි.

පසුගිය වසර 5 පුරාවට ස්ථාපනය වු ස්වාධීන මැතිවරණ කොමිශන් සභාවත්, ආයතනික ප්‍රතිසංස්කරණත් ඒ වගේම  සිදු වු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් ලෙස අතිශයින්ම නිදහස් හා සාමකාමී මැතිවරණයක් භුක්ති විඳින්නට සියලු දෙනාටම පුළුවන්කම ලැබුණා.

තවදුරටත් මේ ස්වාධීනත්වයේ ශක්ති සම්පන්නභාවය තහවුරු කරමින් එම ආයතන හා ක්‍රියාදාමයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස මම ජනාධිපතිතුමාට යෝජනා කර සිටිනවා.

ඒකිය ශ්‍රී ලංකාවක් තුළ සියලුම ජාතීන් එක්සේසත් කරගෙන සෞභාග්‍යසම්පන්න, ස්වෛරී සොඳුරු මාතෘභූමියක් නිර්මාණය කරන්න සිවිල් පුරවැසියෙක් ලෙස ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා.”

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Leave a comment

Your email address will not be published. Required fields are marked *