ජාතික අක්ෂි බැංකුවට වසර 15ක් සපිරීම සහ ලෝක තැලසීමියා දිනය නිමිත්තෙන් පැවැත්වුණු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, මෙරට අක්ෂි සේවාවේ ප්‍රගතිය සහ තැලසීමියා මර්දන වැඩපිළිවෙළ පිළිබඳව වැදගත් කරුණු රැසක් අනාවරණය විය.
පසුගිය වසර 15 තුළ ජාතික අක්ෂි බැංකුව කුණිත (Cornea) 17,000කට වඩා එකතු කර ඇති අතර, ඉන් 12,000ක් මෙරට රෝගීන් සඳහා බද්ධ කර ඇත. ශ්‍රී ලංකාවේ අක්ෂි කුණිතවල පවතින ඉහළ ගුණාත්මකභාවය නිසා සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවලින් ඒ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර මේ දක්වා කුණිත 4,500ක් පමණ විදේශ රටවලට ප්‍රදානය කර තිබේ. සියයට 84ක ජනතාවක් ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති ශ්‍රී ලංකාව ඒ අතින් ලෝකයේ ඉහළම තැනක පසුවන අතර, ඉදිරියේදී විදේශීය රෝගීන් මෙරටට ගෙන්වා නොමිලේ කුණිත බද්ධ කිරීමේ “වෛද්‍ය සංචාරක” වැඩපිළිවෙළක් ද සැලසුම් කර ඇත.
මේ අතර පාසල් දරුවන්ගේ අධ්‍යාපන දුර්වලතාවලට ඇස් පෙනීමේ දෝෂ ප්‍රධාන හේතුවක් වී ඇති බැවින්, වපරය වැනි තත්ත්වයන් සඳහා කල්තියා ප්‍රතිකාර ලබා ගන්නා ලෙස වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිති. එමෙන්ම මෙරට තැලසීමියා රෝගීන් 2,500ක් පමණ සිටින අතර විවාහයට පෙර රුධිර පරීක්ෂාවක් (FBC) සිදු කිරීමෙන් මෙම රෝගය වළක්වා ගත හැකි බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ සේවාව සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් විය. ජාතික අක්ෂි බැංකුවේ 15 වැනි සංවත්සර උළෙල හෙට (08) සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් BMICH හිදී පැවැත්වීමට නියමිතය.













