ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවර මැයි 25 සිට 28 දක්වා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ලේඛක සමුළුවට (Jerusalem International Writers Festival) සහභාගී වීම සුප්‍රකට ලේඛක සහ නොබෙල් ත්‍යාගලාභී ජේ.එම්. කොට්සි මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන හමුදා ක්‍රියාමාර්ග “සමූලඝාතන ව්‍යාපාරයක්” (Genocidal campaign) ලෙස හඳුන්වමින් ඔහු සිය විරෝධය පළ කර ඇත. 2023 ඔක්තෝබර් 07 වැනිදා එල්ල වූ ප්‍රහාරයට සාපේක්ෂව ඊශ්‍රායලය ලබා දෙන ප්‍රතිචාරය කිසිසේත්ම සමානුපාතික නොවන බවත්, එය මානුෂීය සීමාවන් ඉක්මවා ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ලේඛක සමුළුවේ කලා අධ්‍යක්ෂවරිය වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවන්ට ඊශ්‍රායල සමාජයේ බහුතරයකගේ සහාය ලැබෙන බැවින් එරට බුද්ධිමය හෝ කලා ප්‍රජාවට ද මෙහි වගකීමෙන් මිදිය නොහැකි බවයි.
වයස අවුරුදු 86ක් වන දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත මෙම ප්‍රවීණ ලේඛකයා 2003 වසරේදී සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය. “Disgrace” සහ “Waiting for the Barbarians” වැනි කෘති හරහා ඔහු ලෝක ප්‍රසාදයට ලක් විය. ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය හමුවේ එරට ආයතන සමඟ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළ නවතම ජාත්‍යන්තර කලාකරුවා ලෙස ජේ.එම්. කොට්සි වාර්තා වේ.














