27 April 2024
#දේශීය

ජුර්ව ඡන්ද විමසීම් වලින් වලකින්න – මැ.කො

පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය යුතු බවයි.

මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාවට නිරීක්ෂණය වී තිබෙනවා සමහර පෞද්ගලික ආයතනවල ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා වූ උපකාරක පංති පැවැත්වෙන ස්ථානවල ආදර්ශ ඡන්ද විමසීම් පැවැත්වෙන බවත්, ඒවායේ ප්‍රතිඵල සමාජ ජාල මාධ්‍ය හරහා සමාජගත කරන බවත්. මෙම කාර්යයේ බැලූ බැල්මට යම් වරදක් දැකිය නොහැකි යැයි යමෙකුට හැඟී යන්නේ වුවත් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ විධිවිධානවලට පටහැනිවන අවස්ථා ඇති බව ඒ අදාළ සියලු දෙනාටම දැනුම් දෙන බව සභාපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ 78 වන වගන්තියේ දැක්වෙන අයුතු බලපෑම යන වරදට, දූෂණ ක්‍රියා යටතේ ගැනෙන අයුතු බලපෑම නැමති වරදට මෙම කාර්යය අදාළ වෙනව. අනෙක් අතට සැබෑ ලෙස සමාජයේ තෝරා ගන්නා ලද සසම්භාවී නියැඳියකින් තොරව යම් ස්ථානයක සේවය කරන පිරිසක් නැතහොත් යම්කිසි උපකාරක පංතියකට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සඳහා පවත්වන මෙවැනි ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම එය වරදක් බව දේශප්‍රිය මහතා අනාවරණ කරන ලදි.

ඕනෑම ඡන්ද විමසීමකදී මුළු දිවයිනේම ඡන්ද විමසීම එක් දිනකදී පවත්වා එහි ප්‍රතිඵලය එක්වර නිදහස් කරන්නේ එක් ස්ථානයක ඡන්ද ප්‍රතිඵලය අනෙක් ස්ථානයට බලනොපෑ යුතු බැවින්. උදාහරණයක් වශයෙන් තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ සාමාන්‍ය ඡන්දදායකයන්ගේ ඡන්දය දී අවසන් වූවාට පසුවයි. එසේ නැතිවුවහොත් එහි ප්‍රතිඵලය අනෙකුත් ඡන්දදායකයන්ට බලපෑමක් විය හැකි හෙයින් මෙම පූර්ව ඡන්ද විමසීම පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් සහ සම භූමියේ කෙරෙන තරඟයක්, ඡන්ද විමසීමක්, පැවැත්වීමට නම් මෙවැනි පූර්ව පෙරහුරු ඡන්ද විමසීම් පවත්වා ප්‍රතිඵල නිදහස් කිරීමෙන් වැළකී සිටිය යුතු මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී සිටි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *