27 April 2024
#සංවර්ධන

ඩිජිටල් ආර්ථිකය හරහා ආදායම වැඩිකල යුතුයි – අගමැති

රටේ විශාල ණය බර ගෙවීම සඳහා ආදායම වර්ධනය කර ගත යුතු වන අතරම ඩිජිටල් ආර්ථිකය හරහා රටේ ආදායම වර්ධනය කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) ගම්පහ, ගනේමුල්ල, හේමමාලි විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සහ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් තාක්ෂණ පීඨය හා තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුවයි.

දිවයිනේ සියලුම පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙලට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවත් රටේ සෙසු පාසල්වලද සුහුරු පන්ති කාමර ආරම්භ කර අපේ දරුවන්ට නව තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට හැකි මංපෙත් විවෘත කර දෙන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

හේමමාලි විද්‍යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සමඟ සුහදව කතාබහක නියැලීමෙන් අනතුරුව ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය වෙත පැමිණ එහි විවෘත කිරීම්වලින් පසු ප්‍රධාන රැස්වීම් ශාලාව වෙත කැඳවාගෙන එන ලදී.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අපි 1977 දී මේ රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නා. ඉන් පසුව දැනුම සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවය ඇතිවුණා. ඒ අනුව පාසල් අධ්‍යාපනය ලබන ප්‍රමාණය වැඩි කිරීමට පාසල් පහසුකම් වැඩි කිරීමට සිදු වුණා. ඒ යටතේ සෑම පාසලකටම එක් ගොඩනැගිල්ලක් හෝ ලබාදීමට අප කටයුතු කළා. විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කළා. ක්‍රීඩා පහසුකම් ක්‍රීඩාංගන ආදිය ලබාදෙමින් ජාතික ක්‍රීඩා වැඩසටහන ආරම්භ කළා. විද්‍යාපීඨ ආරම්භ කරමින් ගුරු හිඟයට පිළියම් ලබාදුන්නා.

රූපවාහිනිය, පෞද්ගලික පරිගණක ශ්‍රී ලංකාවට පැමිණියේ ඒ කාලයේයි. ඒ අවදියේ ශ්‍රී ලංකාවේ පාසල්වලට පරිගණක ලබාදීමට අප කටයුතු කළා. ඩිජිටල් ආර්ථිකයක් අනාගතයේදී ඇතිවනු ඇතැයි එදා කවුරුවත් සිතුවේ නැහැ. පරිගණකය භාවිතා කළේ තම අවශ්‍යතා සඳහා පමණයි. ඩිජිටල්කරණය ආරම්භවීමත් සමඟ ලංකාව ලෝකයට එකතු කරමින් මම 1993 දී එවකට අමෙරිකානු උප ජනාධිපති සමඟ අන්තර්ජාල ගිවිසුම අත්සන් කළා. නමුත් වර්තමානයේ ඇතිවී තිබෙන ආකාරයේ ඩිජිටල් ආර්ථිකයක් ඇතිවනු ඇතැයි එදා මම පමණක් නොවෙයි. ඇමෙරිකානු උප ජනාධිපතිවරයාවත් සිතුවේ නැහැ.

අද ඩිජිටල් අර්ථිකයක් ඇති කිරීමට, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට, ඒ වෙනුවෙන් සුහුරු පන්ති කාමර, ටැබ් පරිගණක ලබාදීමට අපි ක්‍රියාකරමින් සිටිනවා. ඩිජිටල් තාක්ෂණය ලෝකය මෙතරම් වෙනස් කරනු ඇතැයි එදා කවුරුවත් සිතුවේ නැහැ. ඒවගේම අද ජංගම දුරකථනයත් විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. පරිගණක අන්තර්ජාල සබඳතා සහ ජංගම දුරකථන හරහා ලෝකය විශාල වශයෙන් වෙනස් වී තිබෙනවා. 2010 වනවිට ලෝකයේ ඩිජිටල් ආර්ථිකයක් ඇතිවුණා. එය සෑම අංශයකටම බලපෑවා.

කර්මාන්ත නිෂ්පාදනය, සේවා අංශය ආදියට ඩිජිටල් ආර්ථිකය හරහා විශාල වෙනස්කම් සිදුවුණා. අද ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය හරහා තම තොරතුරු යවමින් සිංගප්පුරුවේ හෝ ලන්ඩන් නුවර සිටින වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි මට්ටමට ලෝකය ඩිජිටල්කරණය වී තිබෙනවා. තම නීතිමය ලියවිලි පවා මේ හරහා හුවමාරු කර ගැනීමට තරම් ලෝකය ඊට යොමු වී තිබෙන බව පැවසිය යුතුයි.

ලැට්වියාව, ෆින්ලන්තය වැනි රටවල් මුදල් භාවිතය වෙනුවට විද්‍යුත් මුදල් භාවිතයට හුරුවී තිබෙනවා. ලැට්වියාව වැනි රටවල්වල කැබිනට් මණ්ඩලයේදී කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ වෙනුවට කැබිනට් ඇමතිවරුන් ඔවුන් ඉදිරිපිට ඇති පරිගණකය හරහා කැබිනට් පත්‍රිකා සියලූ දෙනාටම දැක ගැනීමට හැකිවන පරිදි ඉදිරිපත් කරනවා. ඒ ආකාරයට ඩිජිටල්කරණය හරහා සියලුම අංශ පරිවර්තනය වී තිබෙනවා.

වර්තමානයේ ඔබට අවශ්‍ය චිත්‍රපටියක් ජංගම දුරකථනය හෝ පරිගණකය හරහා නැරóය හැකියි. මෙවැනි නව ආර්ථිකයකට ලෝකය පිවිසී තිබෙනවා. අපි කෘෂිකර්මාන්තයෙන් කර්මාන්ත ආර්ථිකයකට පැමිණියා. ඒ කාලයේ අපට විදුලිබලය ලබාදීමට සිදුවුණා. මේ වන විට ශ්‍රී ලංකාවේ 90% පමණ විදුලි බලය ලබාදී තිබෙනවා. සියළුදෙනාම දුරකථන භාවිතය සිදු කරනවා. එදා අශ්ව කරත්තයෙන් ගිය අය අද වාහන භාවිතයට පුරුදු වී සිටිනවා. දැන් මෝටර් රථය ගමන් කළ යුතු දිසාව පෙන්වන්නෙත් ඩිජිටල්කරණය හරහායි. වැඩි කල් නොගොස් රියදුරන් නොමැති වාහනත් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට ඉඩ තිබෙනවා. නව රැකියා ඇතිවී තිබෙනවා. මෙවැනි සම්පූර්ණ වෙනසක් අද ලෝකයේ සිදුවෙනවා.

මේ තත්වය තුල ශ්‍රී ලංකාව ඉදිරියට යන්නේ කෙසේදැයි අප සොයා බැලිය යුතුයි. අපේ රටේත් ඇතැම් අංශ හරහා ඩිජිටල් ආර්ථිකයට එකතු වී සිටිනවා. ලෝක ආර්ථිකයත් සමඟ කටයුතු කිරීමට නම් නව තාක්ෂණයත් සමඟ ඉදිරියට යා යුතුයි. අපේ මුතුන් මිත්තන් පාසලට ගියේ ගල්ලෑල්ල රැගෙනයි. අපි පාසල් අධ්‍යාපනය ලැබුවේ කොපි පොතෙන් සහ කළු ලෑල්ලෙන්. ඉන් පසුව වයිට් බෝඩ් එක සහ වර්තමානයේ සුහුරු පන්ති කාමර දක්වා අධ්‍යාපනය වෙනස් වී තිබෙනවා.

රටේ ඩිජිටල් ආර්ථිකයක් ඇතිකිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය එකඟතාවය පළකර තිබෙනවා. ඊට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා. ඉදිරි දශකයේදී රට තුල ඩිජිටල් ආර්ථිකයක් ඇතිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

රෙජිස්ට්‍රර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, රටේ බඳු එකතු කිරීමේ ආයතනය, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදි සියලූ ආයතන ඩිජිටල් ක්‍රමයට ඇතුලත් කර ගත යුතුයි. එවිට සියලූ තොරතුරු ස්ථානගත වෙනවා. ඉදිරි වසර 10 තුල අපි මෙම වැඩකටයුතු සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

අප කුඩා අවධියේදී සංචාරකයන්ට නවාතැන් පහසුකම් සලසා දෙන සමාගම් තිබුණා. අද එම විශාල සමාගම්වලින් ජනතාව සේවය ලබා නොගන්නා තත්වයක් ඇතිවී තිබෙනවා. තමාගේ සාක්කුවේ ඇති දුරකථනයෙන් තමාට අවශ්‍ය හෝටලය අමතා අවශ්‍ය කාමර වෙන්කරගෙන දුරකථනයෙන්ම මුදල් ගෙවීම සිදු කරනවා. එවැනි විශාල ආර්ථිකයකට අපි ගමන් කරමින් සිටිනවා. එවැනි ආර්ථිකයකට යාමට හැකි වන්නේ ඊට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් සකසන විටයි.

ඩිජිටල් ආර්ථිකය තුල ජනතාවට සේවා ලබාදීමේදි විශාල ගැටළුවක් ඇතිවෙනවා. අවශ්‍ය මිනිස් බල ප්‍රමාණයේ ලක්ෂයක පමණ අඩුවක් තිබෙනවා. ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ඇති ශ්‍රමිකයන් තවත් ලක්ෂයක් පමණ බිහිකර ගැනීමට හැකිනම් අපනයන වෙළඳපොළ තුල අපේ ආදායම ඩොලර් මිලියන දහසකින් පමණ වර්ධනය කර ගැනීමට ඉඩකඩ සැලසෙනවා.

ලංකාවට විශාල ණය බරක් ගෙවීමට සිදුව තිබෙනවා. එක් කාලයක සිටි පාලකයන්ට එම ණය ගෙවා ගැනීමට නොහැකිව තිබුණත් අපේ ආණ්ඩුව යටතේ ක්‍රමානුකඣලව එය ගෙවමින් සිටිනවා. අපට වැඩිම ණය වාරිකයක් ගෙවීමට තිබෙන්නේ මේ වසර තුලයි. එය ඩොලර් මිලියන හයදහසක් පමණ වෙනවා. ගත් ණය නැවත ගෙවිය යුතුමයි. එසේ නම් ඒ සඳහා රටේ ආදායම වර්ධනය කර ගත යුතු වෙනවා. ඩිජිටල් ආර්ථිකය හරහා රටේ ආදායම වර්ධනය කරගත හැකියි.

ඒ වගේම අධ්‍යාපනයත් ඩිජිටල්කරණයට ලක්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. පශ්චාත් පාසල් අධ්‍යාපනයටත් ඩිජිටල්කරණය ඇතුලත් කර ගත යුතුයි. වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම එහි එක් පියවරක් ලෙස හඳුන්වන්නට පුළුවන්. සියලූ දෙනාටම විශ්වවිද්‍යාලයට යාමේ අදහසක් නෑ. තාක්ෂණික අංශයටත් ද්විතීයික අධ්‍යාපන අංශයටත් ඇතුලත් වී එන්වීකිව් වැනි සහතික ලබාගැනීමට හැකි ක්‍රමයක් අපි සකසනවා. නමුත් එය දෙවන පන්තියේ සහතිකයක් නොවෙයි.

වර්තමානයේ ලබාගන්නා සහතිකවලට වලට වැඩි වටිනාකමක් ඒවාට හිමිවෙන අතර ඒ හරහා ඉදිරියට යාමේ හැකියාව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබෙනවා. ඒ වෙනුවෙන් පන්ති කාමර සකස් කිරීමටත්, ගුරුවරුන් පුහුණු කිරීමටත් අපි කටයුතු කරනවා. ඉදිරි වසර කිහිපය තුල මේ වැඩකටයුතු ක්‍රියාවට නැංවෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක වුනේ ලෝකයේ දියුණුම අධ්‍යාපනය ක්‍රමය තිබෙන ෆින්ලන්තයෙන්. එමනිසා අප මෙම වැඩකටයුතු සිදු කරන්නේ ෆින්ලන්තයේ ආධාර හා උපදෙස් මතයි.

ඒවගේම සෑම විද්‍යාලයකටම විද්‍යා විෂයන් එකක් හෝ දෙකක් හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දිය යුතු බව මම අධ්‍යාපන ඇමතිතුමාට උපදෙස් දුන්නා. එමනිසා විද්‍යා ගුරුවරුන්ගේ ප්‍රමාණය වැඩි කළ යුතුයි. අවශ්‍ය නම් ඒ සඳහා විද්‍යා ගුරු පුහුණු පීඨ දෙකක් හෝ ආරම්භ කරන ලෙසත් මම පැවසුවා. උපාධිධාරින් බඳවා ගැනීමේ ප්‍රමාණයත් වැඩි කරනවා. ඉදිරියේදී සෑම පාසලකම උසස් පෙළ විද්‍යා ගුරුවරුන් සිටින දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා. අපේ රට ප්‍රමාණයෙන් කුඩා නිසා එය සිදු කළ හැකියි.

ඩිජිටල් අධ්‍යාපනයක් ඇති කරනවා නම් සුහුරු පන්ති කාමර අවශ්‍යයි. එහි පළමු පියවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේදී පළමු සුහුරු පන්ති කාමර ගොඩනැගිල්ල ආරම්භ කළා. මේ වන විට පාසල් ගණනාවක සුහුරු පන්ති කාමර ක්‍රමය අපි අත්හදා බලා තිබෙනවා. එහි හොඳ ප්‍රතිඵලත් ලැබෙමින් තිබෙනවා. මේ වන විට පළමු සුහුරු විද්‍යාලය කුරුණෑගල ආරම්භ කළා. කුරුණෑගලට එවැනි විද්‍යාල දෙකක්, මහනුවරට එක් විද්‍යාලයක් සහ කොළඹට එවැනි විද්‍යාල හතරක් ලබාදීමට අපි කටයුතු කරනවා. අප මේ වැඩකටයුතු සිදු කරන අතරතුර අනෙක් පාසල් අමතක කරන්නේ නැහැ. ඒවා තුලත් ක්‍රමානුකූලව සුහුරු පන්ති කාමර ක්‍රමය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

පාසල් ළමුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමටත්, අපි කටයුතු කරනවා. එංගලන්තය, ඇමෙරිකාව වැනි රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. අවශ්‍ය මුදල් නොමැතිකම නිසා අපට මුළු රටේම එක වර එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ. එම ක්‍රමය උසස් පෙළ අධ්‍යාපනයේ සිට ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය මේ වන විට ඊට එකඟතාවය ලබාදී ඇති අතර එහි අත්හදා බැලීම්ද සිදුකර තිබෙනවා. කබීර් හෂීම් ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කැබිනට් අනුකමිටුව විසින් එන සති කිහිපයේදී ඒ පිළිබඳව තීරණයක් ලබාදීමට නියමිතයි. ඒ අනුව මේ වසරේ ටැබ් පරිගණක ලබාදීම සිදුකරනවා. එම ක්‍රමයේ ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට තිබෙන්නේත් එම පරිගණක නිසා ඒවා ආරක්ෂා කිරීම පාසල්වල වගකීමක්.
මෙය ආරම්භයක් පමණයි. මේ තුලින් අපි ඉදිරියට යා යුතුයි. අද මේ රැස්වී සිටින ඔබ පාසල් අධ්‍යාපනය නිමා කර පාසලින් පිටවී යාමට පෙර ටැබ් පරිගණක හරහා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම සකසන බව මා පවසනවා. අපි සෑම පාසලකටම මෙම ක්‍රමය ඇතුලත් කරනවා. දරුවන්ට පමණක් නොව ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලබාදෙමින් ඉදිරියේදී සෑම පාසලකටම මෙම ක්‍රමය ඇතුලත් කිරීමට අප කටයුතු කරනවා.

අප සිටින්නේ අධ්‍යාපන පෙරළියක ආරම්භක අවධියේයි. ඇමතිතුමා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල්වල අඩුපාඩුකම් සකසනවා. අපට රටක් ලෙස හැමදාම ණය මත යැපීමට බැහැ. වර්තමානයේ අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිහිටියන් වන විට අපේ ණය බර අවසන් විය යුතුයි. ඒ සඳහා අපි නව ක්‍රමයක් කල්පනා කළ යුතුයි. වැඩියෙන් ආදායම් උපයන ක්‍රම හඳුනාගත යුතුයි. එමනිසා ඩිජිටල් ආර්ථිකයත් ඒ සඳහා අවශ්‍ය ඩිජිටල් අධ්‍යාපනයත් අප දැන් ආරම්භ කර තිබෙනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ප්‍රමුඛ ප්‍රාදේශීය දේශපාලඥයන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් හා විදුහල්පතිවරු ගුරු මණ්ඩල මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගිව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *