27 April 2024
#දේශීය

තම පාලනයක් යටතේ ආබාධ සහිත පුද්ගලයින්ට බේල් ක‍්‍රමයට ඡන්දය දෙන්න අවස්ථාව ලබා දෙනවා – ගෝඨාභය කියයි

තම රජයක් යටතේදී බේල් ක‍්‍රමයට ඡන්ද බලය භාවිතා කිරීමේ අයිතිවාසිකම හිමිකර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට එක්වෙමින්.

ඊට අදාල ගිවිසුම් අත්සන් තැබීම අද (06)පෙරවරුවේ මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී සිදු කෙරුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ වෙනුවෙන් එහි සභාපති රසාංජලී පතිරගේ මෙනවිය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහකම්පන සංවිධානය වෙනුවෙන් එහි සභාපති සුසන්ත වික‍්‍රමසිංහ මහතා මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

ආබාධය බාධාවක් නොවන සමාජයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේ කල මෙහෙවර අගයමින් සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටීම හේතුවෙන් මෙම සංවිධාන ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකිරීමට තීරණය කර ඇත.

මෙහිදී බ්‍රේල් ක‍්‍රමයට හා පටිගත ක‍්‍රමයට සකසන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ද ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම සංවිධානවලට පිළිගැන්විය.

2007 වසරේ අත්සන් තබන ලද ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතින්ගේ ප‍්‍රඥප්තිය නීතිගත කර ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිමට පියවර ගන්නා බවද මෙහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

පදික වේදිකා නිර්මාණය කිරීමේදී ආබාධ සහිත පුද්ගලයින්ගේ ආරක්ෂාව සහතික වන අයුරින් නිර්මාණය කිරීමටත්, ඒ සදහා වූ විශේෂිත ගඩොල් වර්ගය ලංකාවට හදුන්වා දීමත්, ආබාධිත පුද්ගලයින් සදහා උචිත අයුරින් පොදු වැසිකිලි සැකසිමත්, පොදු ස්ථානවලට ප‍්‍රවේශ පහසුකම් ඇති කිරීමත් සිදු වූයේ තමා නාගරික සංවර්ධන ලේකම් ධූරයේ වගකිම් ඉටුකරන සමයේ බවද රාජපක්ෂ මහතා සිහිපත් කලේය.

විශේෂයෙන් බේල් ක‍්‍රමයට ඡන්ද බලය භාවිතා කිරීමේ අයිතිවාසිකම ද ඉදිරියේදී හිමිකර දෙන බව ඒ මහතා එහිදී අවධාරණය කලේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, සුසිල් ප්‍රේමජයන්ත, ඩලස් අලහප්පරෙැම, බන්දුල ගුණවර්ධන මහත්වරු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *