27 April 2024
#දේශීය

තාක්ෂණය පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීමට විශේෂඥ විද්‍යාත්මක දැනුම උපයෝගී කරගන්නවා – අමාත්‍ය තිලංග

ශ්‍රී ලංකාව තාක්ෂණය මත පදනම් වූ දියුණු රටක් බවට පරිවර්තනය කිරීම සඳහා විශේෂඥ විද්‍යාත්මක දැනුම තම අමාත්‍යාංශය මෙහෙයවීමේ දී උපයෝගී කරගන්නා බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) මහා සංඝරත්නයේ ආශීර්වාදය සමගින් සිය අමාත්‍යංශයේ රාජකාරි අරඹමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” තාක්ෂණය හා නවෝත්පාදනය මත ගොඩනැඟෙන ආර්ථික සංවර්ධනයක් සඳහා ලාභ ශ්‍රමය වෙනුවට උසස් අධ්‍යාපනයට, උසස් තාක්ෂණයට ආයෝජනය කළ යුතු වෙනවා. ජාත්‍යන්තර තලයේ සිටින කීර්තිමත් අපේම විද්වතුන් සැමවිටම මග පෙන්වන්නේ තාක්ෂණික සංවර්ධනය ඉලක්ක කර ආයෝජනය කිරීම, අනාගත ආර්ථික සංවර්ධනයට උර දෙන බවයි. මේ නිසා තේ, පොල්, රබර් වැනි සාම්ප්‍රදායික අපනයනයන්ට සීමානොවී උගත් බුද්ධිමත් ශ්‍රමය තුළින් ලෝක වෙළඳපොලේ තරඟ කළ හැකි තාක්ෂණික නිර්මාණ සිදුකළ යුතු වෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ද පෙන්වා දී ඇති ආකාරයට තාක්ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීම රජයේ මූලික ඉලක්කයක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීමට තම අමාත්‍යංශය තුළින් ඉදිරියේදී කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

නිසි සැලැස්මක් අනුව තාක්ෂණය පදනම් කරගත් දියුණු රටක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආයෝජනය සිදු කිරීම තුළින් නුදුරු අනාගතයේදී ම කොළඹ නගරය ආසියාවේ අග නගරය බවට පත්කර ගැනීමට හැකිවන බවද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ජාත්‍යන්තර තලයේ සිටින කීර්තිමත් විද්වතුන් වන නාසා ආයතනයේ සේවයේ නියුතු ආචාර්ය සරත් ගුණපාල, හිටපු විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්වීය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *