මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කොන්ත්‍රාත්කරුවන් වෙත රුපියල් මිලියන 380ක ද්විත්ව ගෙවීම් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මහාමාර්ග නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන මහතා අද (27) ප්‍රකාශ කළේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් කිසිදු අතිරික්ත මුදලක් ගෙවා නොමැති බවත්, යම් හෙයකින් ලංකා බැංකුව (BOC) හරහා එවැනි අතිරික්ත ගෙවීමක් සිදුව ඇත්නම් එය බැංකුවේ තාක්ෂණික වරදක් මිස අධිකාරියේ වගකීමක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය. “අපේ ගිණුමෙන් මුදල් ලබා නොදී බැංකුව විසින් දෙවරක් ගෙවා ඇත්නම්, එය බැංකුව සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවූ ගනුදෙනුවක් පමණයි” යැයි ඔහු සඳහන් කළේය.
ප්‍රාදේශීය මට්ටමේ ගෙවීම් කොළඹ මූලස්ථානය මගින් මාර්ගගතව (Online) සිදු කිරීම නිසා මෙම ගැටලුව මතු වූ බවට එල්ල වන චෝදනා ද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය. මීට පෙර පැවති පාරිදෘශ්‍ය ගෙවීම් ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, පැරණි ක්‍රමයම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඔහු පැහැදිලි කළේය.
වසරකට රුපියල් බිලියන 340-350ක් වැනි විශාල ප්‍රාග්ධන මුදලක් පරිහරණය කරන ආයතනයක කීර්තිනාමයට හානි කරමින් සමාජය නොමඟ යැවීමට මෙවැනි ප්‍රකාශ සිදු කරන බව නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. රජය ඉතා ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කරන බව ඔහු මෙහිදී සහතික කළේය.













