පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ මගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. මෙම වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අද (26) නුගේගොඩ බස් නැවතුම්පොළේදී රියදුරන් සහ රිය සහායකයින් 172 දෙනෙකු අහඹු පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් 05 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු විය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව මෙම පරීක්ෂණ සිදුකරයි. පරීක්ෂණ වාර්තාව ලබා නොගන්නා රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ඉදිරියේදී සේවයේ යෙදීමට අවස්ථාව නොලැබෙන අතර, අදාළ වාර්තාව බස් රථ ධාවනය සඳහා අනිවාර්ය කර ඇත. මෙම පරීක්ෂණවල මූලික අරමුණ මත්ද්‍රව්‍ය භාවිත කරන රියදුරන් හඳුනාගෙන ඔවුන්ව එම මාර්ගයෙන් ඉවත් කර, ප්‍රතිකාර ලබා දී නැවත සේවයේ යෙදවීම මිස දඬුවම් කිරීම පමණක් නොවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරිය පවසයි. ඉදිරියේදී දිවයින පුරා මෙම පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මත්ද්‍රව්‍ය භාවිතය තහවුරු වුවහොත් ආයතනික නීති මෙන්ම රටේ පොදු නීතිය යටතේ දැඩි නීතිමය පියවර ගැනීමට ද කටයුතු සූදානම් කර ඇත.














