27 April 2024
#දේශීය

පොලිටිකල් අයින් කරන්න ඕනෑ බව අගමැති කියයි

පොලිසිය ස්වාධීන කර මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනින් දේශපාලනය ඉවත්කළා සේ ක්‍රීඩාවෙන්ද දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 24 වෙනිදා අරණායක, මාවතගොඩ රිවිසඳ විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.

රිවිසඳ විද්‍යාලයේ උත්සවයට සහභාගි වීමට පෙර වික්‍රමසිංහ මහතා එදින අරණායක ශ්‍රී සුමංගල විද්‍යාලයේ අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීමට ද සහභාගි විය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවත් ක්‍රිකට් තරඟයක් විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කිරීමයි. මම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට උපදෙස් දුන්නේ ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන ලෙසයි. නැතිනම් අප නැවතත් පරණ තත්වයටම පත් වෙනවා. රටේ ක්‍රිකට් දියුණු වීමට නම් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර ලබාදිය යුතුයි. රිවිසඳ විද්‍යාලය වේවා, මයුරපාද විද්‍යාලය වේවා ලංකාවේ වෙනත් ඕනෑම විද්‍යාලයකත් ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණය වෙන්නේ ඒ හරහා අනාගතයක් නිර්මාණය කර ගැනීමටයි. එවැනි ක්‍රීඩාවක් ජාත්‍යන්තර මට්ටමින් පහතට වැටෙනවා නම් එය විශාල ප්‍රශ්නයක්. එම නිසා අප ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කරගත යුතුයි.
පොලිසියේ විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශ නිලධාරීන් නැවත වතාවක් රටේ විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට පසුගියදා හැකිවුණා. මත්කුඩු ජාවාරම මෙරටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සාධනීය පියවරක් ලෙස මම එය දකිනවා. මෙවැනි විශාල වැටලීම් සිදුකිරීමට හැකිවුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්ධනය කිරීමේ වැඩසටහනින් දේශපාලන බලපෑම් ඉවත් කිරීමට අපට හැකි වූ නිසයි.

අපේ රජය යටතේ ජාතික පොලිස් කොමිසම ආරම්භ කළා. එහි ප්‍රතිපල තමයි දැන් මේ ලැබෙමින් තිබෙන්නේ. දේශපාලන මැදිහත්වීම් වැලැක්වීම හරහා ලංකාව තුල මෙන්ම ලංකාවෙන් පිටතත් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට අපට හැකිවී තිබෙනවා. මෙවැනි වැඩකටයුතු අප සිදු කරන්නේ රටේ අනාගතය වෙනුවෙන් බව පැවසිය යුතුයි. යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, අරණායක එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක ලලිත් දිසානායක, සබරගමුව හිටපු විපක්‍ෂනායක ඩබ්ලිව්. සෝමදාස, කෑගල්ල එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායක ලිලාන් අමරකෝන් යන මහත්වරු ඇතුලූ පළාත් සභා, ප්‍රාදේශීය සභා මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *