බණ්ඩාරගම පොලිස් වසම තුළ මාස තුනක කාලයක් තිස්සේ නිවාස හතක් බිඳ රුපියල් ලක්ෂ 50කට ආසන්න රන් භාණ්ඩ සහ දේපළ සොරාගත් පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය සමත්ව තිබේ. විහාරාධිපති හිමිනමකගේ රියදුරු ලෙස සේවය කරන මොහු දිවා කාලයේ යතුරුපැදියකින් සැරිසරමින් අලුත්ගම, මැදගම, වැල්මිල්ල, කිඳෙල්පිටිය සහ වීදාගම යන ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරු නිවෙස් බිඳීමට යොදාගත් මන්නය සහ යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සොරාගත් දේපළ අතර රන් සහ රිදී භාණ්ඩ, විදෙස් මුදල් සහ රූපලාවණ්‍ය උපකරණ පවතින අතර සැකකරු එම භාණ්ඩ අටලුගම ප්‍රදේශයේ පුද්ගලයකුට ඉතා අඩු මුදලට විකුණා ඇති බව හෙළිවී ඇත. එම මුදල් මත්ද්‍රව්‍ය පානයට සහ සූදුවට යොදාගෙන ඇති අතර සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 33 හැවිරිදි ප්‍රධාන සැකකරු සහ අනෙක් පුද්ගලයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.















