27 April 2024
#දේශීය

මරදානේ සිදුවීම – මවගෙන් දරුවාට කොවිඩ් හැදෙනවාද තවම තහවුරු නෑ – අනිල් ජාසිංහ

මවගෙන් දරුවාට කොවිඩ්-19 ආසාදනය වන බව මේ දක්වා තහවුරු වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මරදාන  ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (24) තහවුරුවීම් සහ ඇගේ දරු ගැබ මිය ගොස් තිබීම සම්බන්ධව අදහස් දක්වමින් ය.

ඇය දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගතව සිටි කාන්තාවක් වන අතර ඇයගේ බිළිඳා කුස තුළම මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ඇය රෝහල්ගත වු අවස්ථාවේදීම වෛද්‍යවරුන් විසින් ඇය කොවිඩ්-19 ආසාදිත කාන්තාවක් බවට සැක පිට අදාළ වාට්ටුවට ඇතුළත් කර ඇති අතර පසුව පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කර ඇය කොවිඩ් 19 ආසාදිත කාන්තාවක් බව තහවුරු කරගෙන ඇත.

කෙසේ වෙතත් අදාළ කාන්තාව රෝහලට ඇතුළත් වන විටත් ඇගේ දරු ගැබ මිය ගොස් තිබී ඇත.

මෙය මළ දරු උපතක් ලෙස සැළකිය හැකි බවත් මවගෙන් දරුවාට මෙම රෝගය යා හැකිද?, දරුවා මිය ගියේ ඒ හේතුවෙන් ද? යන්න පිළිබඳව සියයට සියයක් නිශ්චිතව කරුණු කිව නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසා ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *