මුදල් අමාත්‍යාංශයේ ගිණුම්වලින් මුදල් අවභාවිත වීම තාක්ෂණික ‘හැක් කිරීමක්’ නොව රජය විසින්ම සිදුකරන ලද මහා පරිමාණ වංචාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද තංගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ තමන්ගේ හොරකම් වසා ගැනීමට අන් අයට ‘හොරා’ යැයි පවසන පික්පොකට් න්‍යාය වත්මන් රජය අනුගමනය කරන බවයි. ලෝකයේ කිසිදු රටක හැකර්වරයෙකු දුරකථනයෙන් අමතා ගිණුම හැක් කිරීමට යන බව පවසා ලියකියවිලිවලට අත්සන් ලබා නොගන්නා බවත්, මෙය ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ප්‍රකාශයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. පැහැදිලිවම මෙය වංචාවක් බැවින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා මෙහි වගකීම භාරගත යුතු බවත්, හැකර්වරුන් සැඟවෙනු ඇතැයි පවසමින් මාස අටක් තිස්සේ පරීක්ෂණ නොකර සිටීම හරහා ජනතාවට බොරු නොකියන ලෙසත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් කොන්ත්‍රාත් සමාගම්වලට දෙවරක් ගෙවීම් සිදුකර ඇති බවට වන ප්‍රකාශ හරහා ආණ්ඩුවේ දූෂණය තහවුරු වන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. වරායෙන් කන්ටේනර් 323 ක් අස්ථානගත වීම, බාල ගල් අඟුරු ගෙන්වීම සහ මැදපෙරදිග අර්බුද කාලසීමාවේදී වැඩිම මිලකට තෙල් මිලදී ගැනීම වැනි සිදුවීම් පිටුපස ද ආණ්ඩුව සිටින බවට ඔහු චෝදනා කළේය. සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පත්කළ මාලිමාවේ ඇතැම් පොලිස් නිලධාරීන්ම අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරන බව අනාවරණය වී ඇති බවත්, ආණ්ඩුව ඇතුළේම හොරුන් සිටින බැවින් තවදුරටත් අන් අයට ඇඟිල්ල දික් නොකර මේ පිළිබඳව සත්‍යය රටට හෙළි කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.












