27 April 2024
#දේශීය

මුදල් අමාත්‍යාංශය‍ සහ මහ බැංකුව ජනතාවට ඇහුම්කම් දෙන ආයතන බවට පත්වෙලා

මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව වසර ගණනාවක පසු ජනතාවට ඇහුම්කන් දෙන රාජ්‍ය ආයතන බවට පත්ව ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

වත්මන් රජය බලයට පත්ව ගෙවී ගිය කෙටි කාලය තුළ විවිධ පාර්ශ්වයන් සිය අමාත්‍යාංශයට පැමිණ ඉදිරිපත් කරල ලද විවිධ යෝජනා සහ දුක් ගැනවිලි ඊට කදිම උදාහරණය බව අමාත්‍යවරයා කියා සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ අද (13) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින්. උතුර සහ උතුර මැද පළාත්වල ජනතාව සඳහා ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් අවම තරමින් 14,000ක පමණ පිරිසක් විවිධ මට්ටමේ ණය මුදල් ලබා ගෙන ඒවා ගෙවා ගත නොහැකිව අසරණභාවයට පත්ව ඇති බව මෙහි දී අනාවරණ විය.

ඔවුන්ට සහන සැලසීම සඳහා ඉහත වැඩසටහන මගින් රුපියල් මිලියන 250ක මුදලක් රජය විසින් මීට පෙර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබා දී තිබේ. නමුත් එම මුදලින් මෙතෙක් සහන ලබා දිය හැකි වී ඇත්තේ පුද්ගලයන් 227 දෙනෙකුට පමණි. ඊට හේතු වී ඇත්තේ රුපියල් 40,000කට වඩා අඩු ණය මුදල් ලබා ගත් පිරිසට පමණක් සහන ලබා දීමට අනුමැතිය ලබා දී ඇති බැවිනි. එසේ ම 2018 වසරේ මැයි 31වැනිදා පෙර ණය මුදල් ලබාගත් අය වෙනුවෙන් පමණක් අදාළ සහන සැලසීම ද මේ තත්ත්වයට හේතු වී ඇත. ඒ වෙනුවෙන් ලබා දී ඇති රුපියල් මිලියන 250න් මෙතෙක් වැය කිරීමට හැකි ව ඇත්තේ රුපියල් මිලියන 9.76ක් පමණක් බව ද මෙහි දී අනාවරණ විය.

36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා මෙම ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබේ. මෙම ජනතාවගෙන් බහුතරයක් අදාළ ණය මුදල් ලබාගෙන ඇත්තේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සහ පරිභෝජනය සඳහා වීම ද විශේෂත්වයකි.

සංවර්ධන බැංකු සහ ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩී.ඩී. මාතරආරච්චි, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක, අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ කේ.වී.එස්. නයනානන්ද යන මහත්වරු සහ දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රදේශීය ලේකම්වරු මෙම අවස්ථාවට එක් වූහ.

 

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *