27 April 2024
#දේශීය

රැකියාවක් සොයාගැනීම පහසු වන ආකාරයට උපාධිය සකසන්න ජනාධිපතිගෙන් උපදෙස්

විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබා ඉන් පිටතට එන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල් වන අයුරින් උසස් අධ්‍යාපන ක‍්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත.

ඒ  විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සහ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු සමග ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක් වෙමිනි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද ඉන් පිටව යන තරුණ – තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක‍්‍රමයක් විය නොහැකි බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළ අතර උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක‍්‍රමයක් අවශ්‍ය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදී තිබේ.

විශ්වවිද්‍යාල සහ පාසල් යළි විවෘත කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අනුව බවත් දැනටමත් හඳුන්වාදී ඇති දුරස්ථ අධ්‍යාපන රටාව තවත් වැඩිදියුණු කිරීමට මෙම අවස්ථාව උපයෝගීකරගත යුතු බවත් පවසා ඇත.

 සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය සඳහා විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවන බවත්, එමගින් විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් පිට රටවලට ඇදී යන බැවින් ඒ තත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවිධාංගීකරණය විය යුතු බවත් ජනාධිපති පවසා ඇත.

 සන්නිවේදන තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තීය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත‍්‍රවල උපාධි පාඨමාලා හඳුන්වාදීම අතිශය වැදගත් බවත් අනාගතයේ දී විශ්ව විද්‍යාලයට පිවිසෙන සෑම දරුවෙකුටම පරිගණකයක් ලබා ගැනීමේ පහසුව සැලසිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණ බවත් වාර්තා වෙයි.

උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලූ‍දෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට පෙර නිවසේ සිට ඉංගී‍්‍රසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බවත්  ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බවත් වාර්තා වෙයි.

ජනාධිපති ප‍්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයින් සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *