වැල්ලවාය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 15,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු වූ හපුතලේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කම්කරු නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (24) වසර 06ක බරපතළ සිරදඬුවම් නියම කළේය. මෙම නඩුව 2009 සැප්තැම්බර් 02 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව ගොනුකර තිබුණකි. කුකුළු ගොවිපළක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට එරෙහිව පවතින ලිපිගොනුවක් සම්බන්ධයෙන් සහනයක් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබුණි.
මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ඉදිරිපත් වූ සාක්ෂි සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහිව තිබූ චෝදනා තුනටම ඔහු වරදකරු බව තීන්දු කළේය. ඒ අනුව එක් එක් චෝදනාව සඳහා වසර 06 බැගින් එකවර ගෙවී යන පරිදි සිරදඬුවම් නියම වූ අතර, එක් එක් චෝදනාවට රුපියල් 5,000 බැගින් දඩ මුදල් ද පැනවුණි. මීට අමතරව අල්ලස් ලෙස ලබාගත් රුපියල් 15,000ක මුදලට සමාන අමතර දණ්ඩන මුදලක් ද ගෙවන ලෙස විත්තිකරුට නියෝග කෙරුණි. දඩ මුදල් නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවදුරටත් දීර්ඝ වන බවද අධිකරණ තීන්දුවේ සඳහන් වේ.














