27 April 2024
#දේශීය

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතුයි – අගමැති

වඩු කර්මාන්තය නවීකරණය කර සාර්ථකව සංවර්ධනය කිරීමට රජයේ උපරිම සහය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදීය.

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත්, එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ” මොරටුව ප්‍රදේශය තාක්‍ෂණික දැනුම ඉතා හොදින් භාවිත කළ හැකි නගරයක්. මොරටුව විශ්ව විද්‍යාලය, අප අලූතින් ආරම්භ කළ ඒ.ටී.අයි. ආයතනය හරහා සාම්ප්‍රදායික වඩු කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ලබාගත හැකියි. මුදල් රාජ්‍ය අමාත්‍යතුමාත් මොරටුව ප්‍රදේශයේ සිටින නිසා මේ වැඩකටයුතු කරගෙන යෑමේ ගැටළුවක් ඇතිවන්නේ නැහැ. වඩු කර්මාන්තය පිළිබඳව අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙන චක්‍රලේඛය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වනවා. මේ වනවිට අමාත්‍යංශ ලේකම්වරයාත් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. මෙම කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ දැනුම ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකර විදේශ රටවල්වලටත් ලබාදිය යුතුයි. එම නිසා ඉදිරියේදී වඩු කර්මාන්තයට හොඳ අනාගතයක් තිබෙන බව පැවසිය යුතුයි. මේ පිළිබඳව එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් සකස් කර අපට වාර්තාවක් ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේ සඳහන් කළ යුතුයි. අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කළ යුතුයි. අපේ එම පරමාර්ථය සාර්ථක කර ගැනීමට මෙම කර්මාන්තය තුළ නවීකරණයක් සිදු කළ යුතුයි. ඒ සඳහා ඔබේ අදහස් සහ ආණ්ඩුවේ සහභාගීත්වය අවශ්‍ය වන බව මම අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙක් සහභාගීවී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *