27 April 2024
#දේශීය

ව්‍යවස්ථාදායක සභාවේ ගැටළුවක් ඇතිනම් අභ්‍යන්තරිකව විසඳ ගන්න – පැෆ්රල් සංවිධානය

සියළුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම් ගැටළුවක් වේ නම් ප්‍රසිද්ධියේ විවේචනය නොකර අභ්‍යන්තරිකව විසඳා ගන්නා ලෙසත්, දේශපාලන බල ව්‍යප්තින් සඳහා රටේ ස්වාධීනව පැවැතිය යුතු ආයතන භාවිතයට ගැනීමෙන් වලකින ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා, දේශපාලන පක්ෂ නායකයන්හට විවෘත ලිපිය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පසුගිය සතිය තුළ ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් දැඩි විවේචන එල්ල කරනු දක්නට ලැබිණ.

එම ලිපියෙහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ ” ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව ස්වාධීන කොමිෂන් සභාවල කේන්ද්‍රීය ආයතනය වන අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා ඇති ප්‍රමුඛතම ආයතන ව්‍යූහය ද වේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ගරු අග්‍රවිනිශ්චයකාරවරයා, නීතිපතිවරයා, පොලිස්පතිතුමන් ආදී ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් හා ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම් ව්‍යවස්ථාදායක සභාව හරහා සිදුවන බැවින් ව්‍යවස්ථාදායක සභාව විවේචනයට ලක්වීම සියලු කොමිෂන් සභා විවේචනයට ලක්වීමකි. ඒවායේ ස්වාධීන භාවය ද අභියෝගයට ලක්වීමකි. එය රටක ස්වාධීන ආයතන පිළිබඳව ජනතාව තුළ තිබිය යුතු විශ්වාසය පළුදු කිරීමක් වන අතර එය දීර්ඝකාලීන ලෙස රටක යහපැවැත්මට බරපතල ලෙස හානි කරන්නකි.

ශ්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් තිදෙනෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් හා දේශපාලන පක්ෂ නියෝජිතයින් නොවන තිදෙනෙකුගෙන් සමන්විත වන අතර විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ඉල්ලා අස්වීමෙන් එහි නියෝජිත පුරප්පාඩුවක් පවතී. මේ අනුව පැහැදිලි වන්නේ ව්‍යවස්ථාදායක සභාව දේශපාලන පක්ෂ ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත වන අතර එහි යම් ගැටළුවක් තිබේ නම් එම ගැටළු සඳහා සියලු සාමාජිකයන් සාමූහිකව වගකිව යුතු බවය.

එබැවින් අප සියළුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම් ගැටළුවක් වේ නම් ප්‍රසිද්ධියේ විවේචනය නොකර අභ්‍යන්තරිකව විසඳා ගන්නා ලෙසත්, දේශපාලන බල ව්‍යප්තින් සඳහා රටේ ස්වාධීනව පැවැතිය යුතු ආයතන භාවිතයට ගැනීමෙන් වලකින ලෙසත් ය. එම ලිපියෙහි සඳහන් කර තිබේ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *