27 April 2024
#දේශීය

විදෙස්ගත ලාංකිකයන් ගෙන්වීමට නව ක්‍රමයක් සූදානම් වෙයි

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා අද (27) නව ක්‍රමයක් සැකසීමට නියමිතය.

ඒ වෙනුවෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඊට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගී වෙති. 

මෙම සාකච්ඡාවෙන් ගන්නා තීන්දුව අනුව  විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් සැලසුම් කෙරෙනු ඇත.

වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට  ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ කෙරිණ. 

ඒ අනූව පෙබරවාරි 01 වැනිදා චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක්,  මාර්තු 19 වැනිදා දඹදිව වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් , ආදී ලෙස ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට  5485 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන ඇත.

ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අයවූ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් ද යන්න සොයා බැලෙන  PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින්  ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි. 

එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතයන් බව නිගමනය කෙරිණ. 

කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150ක් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූහ. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ. ආසාදිතයින් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීමද අවශ්‍යතාවකි. 

මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය විය. නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස තීරණය කෙරුණේ ඒ අනූව ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *