2026 වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ආහාර පාලක නිලධාරීන් වෙත යොමු කර ඇති මෙම උපදෙස් මාලාව මගින් දන්සැල් සංවිධායකයන් අනුගමනය කළ යුතු ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.
සියලුම දන්සැල් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ලියාපදිංචි කිරීමේදී දන්සැල පවත්වන ස්ථානය, සංවිධායකයන්ගේ නම, ලිපිනය සහ දුරකතන අංක වැනි මූලික තොරතුරු ඇතුළත් කළ යුතුය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සැල් පරීක්ෂා කිරීමේදී, 2011 ආහාර ස්වස්ථතා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන්නේ දැයි දැඩි ලෙස නිරීක්ෂණය කරනු ඇත.
ආහාර පිළියෙල කිරීමේදී සහ පරිභෝජනය සඳහා ලබාදීමේදී සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම උදෙසා කරුණු කිහිපයක් පෙන්වා දී ඇත. දන්සැල් ආරම්භයට පෙර සහ අවසානයේදී එම ස්ථානය පරීක්ෂා කර පිරිසිදු බව සහ නිසි කසළ කළමනාකරණයක් පවතින බව සහතික කළ යුතුය. ආහාර පිළියෙල කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ජලය හෝ ආරක්ෂිත ජල මූලාශ්‍ර භාවිත කළ යුතු අතර, අත් සේදීම සඳහා ජලය සහ පිරිසිදුකාරක පහසුකම් සපයා තිබිය යුතුය. විශේෂයෙන්ම ආහාර පිළියෙල කළ අවස්ථාවේ සිට ඒවා බෙදා දීම දක්වා කාලය පැය 04කට වඩා වැඩි නොවිය යුතු බවට ද සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබේ.














