ඇමෙරිකාව සහ ඉරානය අවබෝධතා ගිවිසුමකට එළැඹීමත් සමඟ බලශක්ති වෙළෙඳපොළේ පැවති දරුණුතම සැපයුම් අර්බුදය සමථයකට පත්වීමේ ලකුණු පෙන්වමින් ගෝලීය බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. ඉරාන ගිවිසුමත් සමඟ හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් පසු ගල්ෆ් කලාපයේ බොරතෙල් අපනයනය යථා තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තු ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට බ්‍රෙන්ට් (Brent) දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.86 දක්වා 5.12%කින් පහත වැටී ඇත. එමෙන්ම ටෙක්සාස් (WTI) දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 80.17 දක්වා 5.55%ක සැලකිය යුතු ප්‍රතිශතයකින් පහත වැටී තිබේ. විදෙස් වාර්තාවලට අනුව ඉරාන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වාර්තා වූ අඩුම අවස්ථාව මෙය ලෙස සටහන් වේ.
















