27 April 2024
#දේශීය

කුඹුරු අක්කර 11,757ක් වර්ෂාව නිසා විනාශ වෙයි – කෘෂිකර්ම අමාත්‍යංශය

පසුගිය යල කන්නයේ වගා කරන ලද අස්වනු නෙලන්නට ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් දැනට මාස එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර නිසා විනාශයට ලක්ව ඇති බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි.

පසුගිය යල කන්නයේ දී පැවැති දීර්ඝ හා දැඩි නියඟය හේතුවෙන් හානියට පත් කුඹුරු පිළිබඳ තොරතුරු රැස්කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දැනුම් දී තිබිනි.

ඒ අනුව නියඟය නිසා සිදුවූ වගා හානිවීම් කුඹුරු අක්කර 64,088ක් වාර්තා වී ඇත. වර්ෂාව නිසා සිදුවූ වගා හානි වීම් නිසා ගොවීන් 11,460කට බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර නියඟය නිසා සිදුවූ වගා හානි සඳහා පළමුවෙන්ම වන්දි ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවීලි අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.

මෙම වන්දි මෙම වසර තුළම ලබා දෙන ලෙසත්, රජයෙන් මුදල් ලැබීම ප්‍රමාද වුවහොත් මණ්ඩලය සතු මුදල්වලින් හෝ එම වගාහානි වන්දි ගෙවීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

විශේෂයෙන් මහ කන්නයේ වගා කටයුතු කිරීම සඳහා නියඟයෙන් වගා හානි සිදුවූ ගොවීන්ට අපහසුවී තිබීම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *