රාජගිරිය ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ රැඳී සිටිමින් නීතිවිරෝධී මූල්‍ය ජාවාරම්වල නියැලුණු විදේශිකයන් 120 දෙනා ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (15) නියෝග කළේය.
අත්අඩංගුවට ගත් පිරිස මෙරට සිට කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ මුදල් හැක් (Hack) කර ඇති බව වැලිකඩ පොලිසිය අධිකරණයට දැන්වීය. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (CERT) විසින් අදාළ ස්ථානයේ තිබූ පරිගණක පරීක්ෂා කිරීමේදී, ඒවායේ ‘වොලට්’ (Wallets) සහ ‘කරන්සි’ (Currency) ලෙස මුදල් සංසරණය වෙමින් පැවති බවත්, ඒ සම්බන්ධ IP ලිපිනයන් සොයාගත් බවත් අනාවරණය විය.
අත්අඩංගුවට ගත් 120 දෙනා අතර පිරිමි පුද්ගලයන් 89ක් සහ කාන්තාවන් 31ක් සිටින අතර ඔවුන් චීනය, වියට්නාමය, මැලේසියාව, මැඩගස්කරය, පිලිපීනය, තායිලන්තය සහ කාම්බෝජය යන රටවල වැසියෝ වෙති. මොවුන්ගෙන් 28 දෙනෙකුට වීසා බලපත්‍ර නොමැති බව හෙළි වී ඇති අතර, වීසා පවතින පිරිසට ද මෙරට රැකියාවල නිරත වීමට අවසර ඇත්දැයි විමර්ශනය කෙරේ. සැකකරුවන්ගේ වීසා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ආගමන විගමන පාලකවරයාට හෝ ඔහුගේ නියෝජිතයෙකුට ලබන 22 දින අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලදී.
රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි මහල් හතකින් යුත් ආරක්ෂිත බැමිවලින් වටවූ ගොඩනැගිල්ලක මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත. පිටතට කිසිවක් දර්ශනය නොවන ලෙස සකසා තිබූ මෙම ස්ථානයට ඇතුළු වීමට ආරක්ෂක නිලධාරීන් සහ කාඩ්පත් පද්ධති යොදා තිබුණි. සැකකරුවන් ප්‍රවාහනය සඳහා සුඛෝපභෝගී වාහන 15ක් යොදාගෙන ඇති අතර, ඔවුන්ට ආහාර සැපයීම සඳහා වෙනම කේටරින් සමාගමක් සම්බන්ධ වී තිබූ බව ද පොලිසිය පැවසීය.
මෙම ජාවාරම විදේශ රටවල් පහකට අධික ප්‍රමාණයකට මුදල් යැවූ ජාත්‍යන්තර නීතිවිරෝධී ආයතනයක් විසින් මෙහෙයවා ඇති බවට සැක කෙරේ. ගොඩනැගිල්ලේ සෑම මහලකම විශාල වශයෙන් නවීන තාක්ෂණික උපකරණ තිබී ඇති අතර, එක් එක් මහල්වල සේවය කළ පුද්ගලයන් අතර සබඳතාවක් නොතිබූ බව ද හෙළි විය. සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් ඔවුන් අධිකරණය මඟහැරීමට ඉඩ ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.














