2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පළමු වාරය 2027.01.04 දින සිට 2027.04.09 දින දක්වා පැවැත්වෙන අතර, එහි නිවාඩුව 2027.04.10 සිට 2027.04.25 දක්වා ලබා දීමට නියමිතයි. දෙවන වාරය 2027.04.26 දින සිට 2027.07.30 දින දක්වා ක්‍රියාත්මක වන අතර, එහි නිවාඩුව 2027.07.31 සිට 2027.08.29 දක්වා හිමිවේ. තෙවන වාරය 2027.08.30 දින ආරම්භ වී 2027.12.03 දින දක්වා ක්‍රියාත්මක වන අතර, සමස්තයක් ලෙස 2027 වර්ෂයේ පාසල් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව, 2027 වර්ෂයේ 12 ශ්‍රේණියේ නව පන්ති ආරම්භය 2027.06.15 දින සිදු කෙරෙන අතර, 13 ශ්‍රේණියේ තෙවන පාසල් වාරය 2027.07.16 වන දින අවසන් කළ යුතුය. විභාග කාලසීමාවන්ට අනුව, 2027 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2027 අගෝස්තු මාසයේදීද, 2027 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2027 දෙසැම්බර් මාසයේදීද පැවැත්වීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් වේ.















