යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට පෙර ජනමත විචාරණයක් මගින් ජනතා අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජාතික ජන බලවේගයේ විධායක සභික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමත් සමඟ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු වී තිබේ.
මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සිදු කරන මැදිහත්වීම හුදෙක් ආණ්ඩුව සහ විපක්ෂය අතර පවතින දේශපාලන බල අරගලයක් ලෙස හුවා දැක්වීම ජනතාව නොමඟ යැවීමක් බව පෙන්වා දෙන ඒ මහතා, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මතු පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කිරීම වත්මන් සැබෑ අභියෝගය බව අවධාරණය කර සිටියි.
අදාළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තියට පටහැනි වන බැවින් එය සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ලාල් විජේනායක මහතා කැඳවුම්කරු ලෙස කටයුතු කරන ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ’ සංවිධානයද වෙනම පෙත්සමක් ගොනු කර ඇති පසුබිමක, පෙත්සම් ඉදිරිපත් කිරීමේ කාලසීමාව අද දින අවසන් වීමත් සමඟ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සහ ව්‍යවස්ථාපිත සංවාද කෙරෙහි සමස්ත රටේම දැඩි අවධානයක් යොමු වී තිබේ.
















