තායිලන්තයේ සිට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින චීවරධාරීන් 23 දෙනාට ස්වේච්ඡාවෙන් උපැවිදි වන ලෙස (සිවුරු අතහරින ලෙස) ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් විසින් දැනුම් දී තිබේ. අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසා සිටියේ මෙම පිරිස බන්ධනාගාරය තුළදී හමුවී ශාසනයට සිදුවන අපකීර්තිය වළක්වා ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවයි.
එම චීවරධාරීන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවලදී පෝලිම් ගැසී සිටීමෙන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බුද්ධ ශාසනයට විශාල අපවාදයක් සිදුවන බවත්, යම් හෙයකින් නඩු විභාගයෙන් ඔවුන් නිර්දෝෂී වුවහොත් නැවත පැවිදි වීමට අවස්ථාව ලබා දෙන බවත් එහිදී ප්‍රකාශ කර තිබේ. මෙම පිරිස අතර වැඩි පිරිසක් සාමණේර හිමිවරුන් වන අතර ඔවුන් කිසියම් මෙහෙයවීමකට හසුවී ඇති බවට නිරීක්ෂණය වුවද, පිරිසෙන් කිහිපදෙනෙකුම උපැවිදි වීමේ යෝජනාවට මෙතෙක් එකඟතාව පළ කර නොමැති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.














