27 April 2024
#සංවර්ධන

තංගල්ල මුලික රෝහලේ රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකරන ලද ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

තංගල්ල මූලික රෝහලේ රුපියල් මිලියන 300 කට ආසන්න මුදලකින් වැය කරමින් ඉදිකරන ලද නව ළමා වාට්ටු සංකීර්ණය වීවෘත කිරිම ඊයේ දින (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

එම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්ගේ සහභාගී විය.

“රුහුූණු කරළිය” සංවිධානය, දකුණු පළාත් සභාව සහ රෝහල් සංවර්ධන කමිටුවේ මූල්‍ය ආධාර මත තංගල්ල මුලික රෝහලට මහත් අඩුපාඩුවක්ව පැවැති මෙම තෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදිකර ඇත.

මෙම ළමා වාට්ටු සංකීර්ණය හදිසි ප්‍රතිකාර ඒකකයක්, බෝනොවන රෝග පාලන ඒකකයක්, නොමෙරු ළදරු ඒකකයකින් ද යුක්ත වේ.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ළමා වාට්ටු සංකීර්ණ සදහා රුපියල් ලක්ෂ 80 පමණ වටිනාකමකින් යුත් Infant Incubator 02 ක්, ECU 02 ක්, Multi para Monitor 10 ක්, Pulse Oximate 06 , Defibrillator 02 ක් ප්‍රදානය කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ” හම්බන්තොට දිස්ත්‍රික්කය යුද්ධය අවසන් වූවාට පසු 2010 සිට 2014 කාලය තෙක් පමණයි අපට සංවර්ධනය කරන්න පුළුවන් වුනේ. එම කාලයේ රට පුරා විශාල සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ එතුමාගේ මගපෙන්වීම යටතේ සිදු කළා. සෞඛ්‍ය අංශය ගත්තොත් හම්බන්තොට රෝහල මධ්‍යම රජයට පවරාගෙන මහ රෝහලක් ලෙස පරිවර්ථනය කර පසුගිය කාලයේ විදේශ ආධාර ඇතිව රුපියල් බිලියන 08 ක නවීන ගොඩනැගිල්ලක් ලබාදෙන්න පුළුවන් වුනා. ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවූවා. තංගල්ල රෝහලේ මානව, භෞතික අංශ සංවර්ධනයට ලක් කළා. අද මා වෙත උපදෙස් ලබාදුන්නා තංගල්ල රෝහලේ ඉඩකඩ සැළකිල්ලට ගෙන අවට පවරා ගත හැකි ඉඩම් පවරාගෙන හැකි ඉක්මණින් ලංකාවේ තිබෙන ඉහළම ගණයේ රෝහලක් ලෙස පරිවර්ථනය කර කළින් සැළසුම් කළ ගොඩනැගිලි සංකීර්ණය මෙම රෝහලට ලබාදෙන්න කටයුතු කරන්න කියලා. මෙම රෝහල මීටත් වඩා ඉහළ තත්ත්වයකට, විධිමත් තත්ත්වයට ගෙනඒමට අගමැතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට මහාසංඝරත්නය, ප්‍රවාහන, කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී චානක මහතා, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, තංගල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය සමිර තන්ත්‍රීගේ මහතා, රුහුණු කරළිය සංවිධානයේ ප්‍රධාන සංවිධායක, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් එන්.සී.යූ ජයසිංහ මහතා, වත්මන් සභාපති නීතීඥ විදුර වීරකෝන්,ලේකම්, හිටපු තොරතුරු තාක්ෂණ කථිකාචාර්ය ආර්.පී රංජන් මහතා, දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි තුමන්ලා, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *