27 April 2024
#ව්‍යාපාර

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකයින්ට Mobile app යෙදුමක්

අඩු ආදායම්ලාභී ග්‍රාමීය ව්‍යවසායකින්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සදහා අවශ්‍ය වෙළද පොල සකසා දීමට සහ දේශීය හා විදේශීය වශයෙන් සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සදහා ඉදිරියෙදී නව අලෙවි ප්‍රවර්ධන අයදුමක් (Mobile app) හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ග්‍රාම ශක්ති වැඩසටහනේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් දොම්පේ සහ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පැවති ප්‍රගති සමාලෝචන වැඩසටහන් වලට පසුගිය 14 වනදා සහභාගි වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ ගමේ ප්‍රශ්න සාකච්ජා කළ හැකි හොදම වේදිකාව ග්‍රාම ශක්ති වැඩසටහන බවත් මෙමගින් ගමේ දුප්පත් ව්‍යවසායකයා නගා සිටුවිය හැකි බවයි.

වෙළදපොලේ වැඩි ඉල්ලුමක් පවතින නිෂ්පාදන සදහා අඩු ආදායම් ලාභි ජනතව යොමු කර ඒ සදහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීමට කටයුතු කරන බවත් සිය ව්‍යාපාර නගා සිටුවා ගැනීමට ක්ෂද්‍ර මුල්‍ය ණය යෝජනා ක්‍රමය හරහා ණය ලබා දීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

එක් ගම්මානයක් එක් නිෂ්පාදන ක්‍රියාවලියක් සදහා යොමුකර දැවන්ත ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් එමගින් නිෂ්පාදන කටයුතු සදහා අවශ්‍ය පහසුකම් හා ඒවා අලෙවි කර ගැනීමේ කටයුතු පහසු කරගත හැකියි. දැනට පවතින අඩුපාඩු හා දුර්වලතා හදුනාගෙන ඉදිරි වර්ෂ 5 කාලය තුල ග්‍රාම ශක්ති වැඩසටහන ඉදිරියට ගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් සම්පත් ගුණවර්ධන, දොම්පේ සහකාර ප්‍රාදේශීය ලේකම් එල්.ඩී.වී තිලකරත්න, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරින් රැසක් සහභාගි වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *