27 April 2024
#දේශීය

සුබ සාධන දීමනා සඳහා ලක්ෂ4ක් දැනටමත් තමන් නුසුදුස්සන් බව මේ වන විටත් පිළිඅරන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

සමෘද්ධි ව්‍යාපාරය මගින් මෙතෙක් සවිබල ගැන්වී ඇත්තේ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවෙන් 1%ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වසර 28ක කාලයක් ක්‍රියාත්මක වූ මෙම සුබ සාධන ව්‍යාපාරයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව ඉන් හැගීයන බවයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සුබ සාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරමිනි.

2021 වසරේ සමස්ත සමෘද්ධි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,760,000ක් වූ අතර ඉන් සවිබල ගැන් වූ පවුල් සංඛ්‍යාව 18,638ක් වූ බව හෙතෙම පැවසිය. එය සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 1.05%ක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. 2022 වසරේ දී 1,730,000ක් වූ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවෙන් 1.2%ක් හෙවත් පවුල් 21,189ක් පමණක් සවිබල ගැන්වී තිබේ.

සමෘද්ධි වැඩසටහන ආරම්භ කළ 1996 දී පවුල් මිලියන 1.89 ක් ඉන් ප්‍රතිලාභ ලබා ගත් අතර එවකට ඒ වෙනුවෙන් රජය වැය කළ මුදල රුපියල් මිලියන 664කි. 2022 වසර වන විට ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මිලියන 1.73ක් වන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 63,706ක් බව ඔහු අනාවරණ කලේය.

2019 වසරේ දී නිකුත් කළ ලෝක බැංකු වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම ලබන 20%ක පිරිස අතරින් 12%ක් සුබ සාධන දීමනා ලබා ගන්නා බවත්, දීමනා ලබා ගැනීමට සුදුසු 38%ක් පමණක් ඒවා ලබන බවත් අනාවරණය වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. නව යෝජනා අනුව සුදුසු පුද්ගලයන්ට ආධාර ලබා දීම සේම ඉලක්ක ගතව සවිබල ගැන්වීම සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් වෙයි. නව ලියාපදිංචි කිරීම යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පවුල් 3,720,000ක් අයදුම්පත් ඉදිරිපත් කර තිබුණ ද ඉන් 11.7%ක් හෙවත් පවුල් 435,489ක් පමණක් සමීක්ෂණය ඉදිරිපත් ව නොමැත.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ තාක්ෂණය පදනම් කරගනිමින් සිදු කෙරෙන නව ලියාපදිංචි ක්‍රමවේදය යටතේ එම පවුල් ලක්ෂ 4 තමන් සුබ සාධන දීමනා ලබා ගැනීමට නුසුදුසු බව තීරණය කිරීම ම එහි සාර්ථකත්වයක් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *