27 April 2024
#දේශීය

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීත්‍යානුකූල නොවන තීරණයක් මත පවුල් 400 ක් මහ මගට

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලබාගත් නීත්‍යානූකූල නොවන තීරණයක් හේතුවෙන් පවුල් 400 ක් මහමගට වැටී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් බොරැල්ල ආචාර්ය ඇන්.ඇම් පෙරේරා ශාලාවේ දී අද (18) පැවැත් වූ මාධ්‍ය හමුවක දීය.

මෙහිදී වැඩිදුරටත් සභාපතිවරයා මෙසේ කියා සිටියේය ” සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණය හේතුවෙන් පවුල් 400 ක් පමණ අසරණභාවයට පත්ව සිටිනවා. ෆාමේස් සමාගමේ සේවකයින් තමයි මෙලෙස අසරණභාවයට පත්ව සිටින්නේ. සමාගමට විරුද්ධව අපි මීට පෙරත් කථා කරලා තිබෙනවා. නමුත් මෙවර මෙම සේවකයින්ට අත්වී ඇති ඉරණම සම්බන්ධයෙන් තමයි කථා කරන්නේ. මෙම සමාගම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට සම්බන්ධ බවට චෝදනා එල්ල වුණා. නමුත් එය බොරුවක් වී ඇති බව මේ වන විට ඔප්පු වී තිබෙනවා. සමාගම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නීත්‍යානුකූල නොවන තීරණයක් ගෙන තිබෙනවා. රජය වෙනස් වූ පසු ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම සමාගමේ ඖෂධ බලපත් අහෝසි කරමින් පෙබරවාරි 03 දින ලිපියක් යොමු කරනවා. ඖෂධ ආනයනය, බෙදාහැරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම මෙහිදී තහනම් කර තිබෙනවා. ටෙන්ඩර් සදහා ඉදිරිපත්වීමට ද මෙම සමාගමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ. සියලු කාරණා සළකා සමාගම වරදක් කර ඇත්නම් ඒ වරදට පමණක් දඩුවම් ලබාදිය යුතුයි. ලේබල වෙනස් කිරීමේ ප්‍රශ්ණයක් තමයි මෙතන තිබෙන්නේ. එම ප්‍රශ්නය මත පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පරීක්ෂණ කළ යුතුයි. මෙවැනි තහනමක් පැනවීම සදහා අධිකාරියේ අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී තීන්දු තීරණ ගත යුතුයි. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පෙර සභාපතිවරයා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වන්නේ ලබන 20 දා. ඊට පෙර දිනයක් යොදා මෙම තහනම ක්‍රියාත්මක කිරීමට අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මෙය වැරදියි. සෞඛ්‍ය අමාත්‍යවරිය සහ බලධාරීන් ඖෂධ පිටරටින් ගෙන්වීම සදහා අනීතික ලෙස ටෙන්ඩර් ලබාදුනහොත් මෙරට ජනතාවගේ මුදල් සූරා කෑමට කටයුතු කළහොත්, කිසියම් සමාගමකට අනුග්‍රහයක් ලබාදීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අපි කටයුතු කරනවා. රාජ්‍ය ආයතනයකට තනිව තීන්දු ගන්න බැහැ. වර්තමානයේ ඖෂධ වර්ග 310 ක පමණ හිඟයක් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම හිඟය පේන්නේ නැහැ. අමාත්‍යාංශය ඖෂධ ටෙන්ඩර් 03 ක් කැදවා තිබෙනවා. ඒ අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ෆාමේස් සමාගම පසුගිය කාලයේ තරගකාරි අයුරින් ඖෂධ ලබාදුන්නා. මෙම සමාගමට බලපෑම් නොකර ටෙන්ඩර් පටිපාටියට විවෘත කිරිම තුලින් අඩු මිලට ඖෂධ ජනතාවට ලබාදෙන්න පුළුවන්. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ පැටිකිරිය ගැනත් අපි හොදට දන්නවා. වීදුරු ගෙවල්වල ඉදලා ගල් ගහන්න එපා. ඖෂධ සමාගම් වල අධ්‍යක්ෂ ධූර දරපු ආකාරයත් අපි දන්නවා. නමුත් අද මෙම සමාගමට ඇති වී තිබෙන තත්ත්වය නිසා විශාල පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා.යැයි වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට එක්වෙමින් ෆාමේස් සමාගමේ වෙළෙද කළමණාකරු ගාමිණි කුමාර සහ අලෙවි කළමණාකරු ධනුෂ්ක විඡේසේකර යන මහත්වරුන් ද අදහස් පළ කළහ.

 

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *