27 April 2024
#දේශීය

මොනරාගල ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට

මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 5000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර ඇති බව ජාතික අරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා වගාකටයුතුවලට යොදා ගැනීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (01) ජනාධිපති කාර්යාලයේ දී පැවැති අවස්ථාවේදිය.

මේ වන විටත් මොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් හෙක්ටෙයාර් 8000ක් පමණ නැවත වන වගාව සඳහා වෙන් කර තිබේ.

එයින් වන වගාව සඳහා පැළ සූදානම් කර ඇති හෙක්ටෙයාර් 3000ක භූමි ප්‍රමාණය තුළ කඩිනමින් වන වගා කටයුතු ආරම්භ කිරීමට මෙහිදී තීරණය කෙරිණි.

ඉතිරි හෙක්ටෙයාර් 5000ක පමණ භූමි ප්‍රමාණය නැවත වන වගාවට අවශ්‍ය පහසුකම් සූදානම් කරන තුරු, වගා කටයුතු සඳහා තාවකාලික පදනම මත ගොවි ජනතාවට බෙදා දීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම ගව පාලනය සඳහා යම් ඉඩම් ප්‍රමාණයක් තාවකාලිකව නිදහස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

මෙම කටයුතු සිදු කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් සාගල රත්නායක මහතා ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලු රේඛීය ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙනු ලැබීය.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.සී.එම්. හේරත් යන මහත්ම මහත්මීහූ ඇතුළු රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *