පසුගිය වසරේ ඔක්තෝබර් 10 වනදා සිට ක්‍රියාත්මක වන සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ස්ථාන කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් අවුරුදු තුනක සහ දහහතරක දරුවන් දෙදෙනෙකු ඇතුළු පලස්තීනුවන් 11 දෙනෙකු මියගොස් තිබේ. ගාසා නගර මධ්‍යයේ ගමන් කළ පොලිස් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අවුරුදු තුනක දරුවා ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලැබූ බව එරට සිවිල් ආරක්ෂක බලධාරීහු තහවුරු කරති.
මීට අමතරව ගාසා නගරයේ ෂාටි (Shati) සරණාගත කඳවුර අසල පිරිසක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ඩ්‍රෝන යානා මඟින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇත. උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා (Beit Lahiya) ප්‍රදේශයේදී ද ඊශ්‍රායල වෙඩි ප්‍රහාර හමුවේ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබුණද ඊශ්‍රායල හමුදා දිනපතා ගාසා තීරයට ප්‍රහාර එල්ල කරන අතර, එම සටන් විරාමයෙන් පසුව පමණක් පලස්තීනුවන් 760කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.














