OpenAI හි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් විසින් සිය සහෝදරිය වන ඇනී ඇල්ට්මන් තමන්ට එරෙහිව ගොනු කර ඇති සිවිල් නඩුවේ “දණ්ඩනීය හානි පූරණය” පිළිබඳ ඉල්ලීම් ඉවත දමන ලෙස බදාදා රාත්‍රියේ ශාන්ත ලුවී ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. වසර විස්සකටත් වඩා පැරණි සිදුවීම් පදනම් කරගනිමින් ඇය එල්ල කර ඇති ලිංගික අපයෝජන චෝදනා ඇල්ට්මන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මිසූරි ප්‍රාන්තයේ ළමා ලිංගික අපයෝජන නීතිය යටතේ මෙවැනි කරුණු සඳහා දණ්ඩනීය හානි පූරණයට අවසර නොමැති බවත් එය ළමා වියේදී සිදුවූ හානියක් සම්බන්ධයෙන් වන්දි ලබා දීම සඳහා පමණක් සීමා වන බවත් ඔහු පෙන්වා දෙයි. 1997 සහ 2006 අතර කාලය තුළ සිය නිවසේදී සෑම් ඇල්ට්මන් විසින් තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඇනී ඇල්ට්මන් චෝදනා කරන අතර එම කාලය තුළ ඇයට වයස අවුරුදු තුනක් වූ අතර ඔහුට වයස අවුරුදු 12ක් විය. ඇල්ට්මන් පවුල පවසන්නේ ඇනී ඇල්ට්මන් මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බවත් සෑම් ඇල්ට්මන් පවසන්නේ ඇය මුදල් ලබා ගැනීම සඳහා තමන්ට තර්ජනය කරමින් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය චෝදනා එල්ල කරන බවත්ය. සෑම් ඇල්ට්මන් සිය සහෝදරියට එරෙහිව අපහාස කිරීම සම්බන්ධයෙන් ප්‍රති-නඩුවක් ගොනු කර ඇති අතර ඔහු එහිදී ඩොලර් 1ක වන්දි මුදලක් ඉල්ලා ඇත්තේ සිය සහෝදරියට මූල්‍යමය හානියක් කිරීම නොව ඇයගේ ප්‍රකාශ අසත්‍ය බව තහවුරු කර ගැනීම සිය අරමුණ බව පවසමිනි. ChatGPT හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් සෑම් ඇල්ට්මන්ට එරෙහි මෙම නඩු විභාගය අප්‍රේල් 27 වනදා ආරම්භ වීමට නියමිතව තිබේ.














