ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට බාධා එල්ල වී ඇති පසුබිමක, ඕස්ට්‍රේලියාවේ පවතින ප්‍රධාන ඉන්ධන පිරිපහදු දෙකෙන් විශාලතම පිරිපහදුව වන විවා එනර්ජි (Viva Energy) පිරිපහදුවේ හටගත් ගින්නක් හේතුවෙන් එරට ඉන්ධන අර්බුදය තවත් උග්‍ර වී තිබේ. බදාදා රාත්‍රියේ මෙල්බර්න් නුවරට ආසන්න ජීලෝන්ග් (Geelong) හි පිහිටි මෙම පිරිපහදුවේ හටගත් ගින්න බ්‍රහස්පතින්දා දහවල් වන විට පාලනය කිරීමට ගිනි නිවන අංශ සමත් වූ අතර, මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව වාර්තා වේ.
මෙම පිරිපහදුව මගින් ඕස්ට්‍රේලියාවේ දෙවනුවට වැඩිම ජනගහනයක් සහිත වික්ටෝරියා ප්‍රාන්තයේ ඉන්ධන අවශ්‍යතාවයෙන් අඩකට වඩා සපයන අතර මුළු රටේම ඉන්ධන ඉල්ලුමෙන් දහයෙන් එකක් සපුරාලනු ලබයි. පිරිපහදුවට සිදුවූ හානිය හේතුවෙන් පෙට්‍රල් සහ ගුවන්යානා ඉන්ධන නිෂ්පාදනයට සෘජු බලපෑමක් එල්ල වනු ඇතැයි සමාගම පවසන අතර, ඒ වෙනුවට ඉන්ධන ආනයනය මගින් ඉල්ලුම සැපයීමට බලාපොරොත්තු වේ. ඕස්ට්‍රේලියාව දැනටමත් තම ඉන්ධන අවශ්‍යතාවයෙන් 80%ක්ම ආනයනය මත රඳා පවතින බැවින්, මෙම අනතුර නිසා ඉදිරියේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
ඉරාන යුද්ධය නිසා බලශක්ති මිල ලොව පුරා ඉහළ යමින් පවතින අවස්ථාවක මෙම සිදුවීම ඕස්ට්‍රේලියාවට දැඩි අභියෝගයක් වී තිබේ. ඕස්ට්‍රේලියානු බලශක්ති අමාත්‍ය ක්‍රිස් බෝවන් (Chris Bowen) ප්‍රකාශ කළේ සිද්ධියෙන් වූ හානිය තක්සේරු කරමින් පවතින බවයි. මේ අතර, ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් (Anthony Albanese) මේ වන විට මැලේසියාවේ සංචාරයක නිරත වෙමින් සිටින්නේ බෲනායි සහ මැලේසියාව වැනි රටවලින් අතිරේක ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.














