ප්‍රබල පාතාල අපරාධකරුවෙකු වන ‘කරන්දෙණියේ සුද්දාගේ’ සහෝදරයා මෙන්ම යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු වන එස්.එෆ්. රාජු හෙවත් ‘මීටියාගොඩ රාජු’ ඉන්දීය බලධාරීන් විසින් නවදිල්ලියේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි සිට ඉන්දියාව හරහා ග්‍රීසියට පලා යාමට සූදානම්ව සිටියදී ඔහු මෙලෙස කොටු වී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඔහුව පසුගිය 17 වැනිදා මෙරටට රැගෙන එනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සහ සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ කරුණු අනුව ඔහු 2022 වසරේදී ව්‍යාජ තොරතුරු ඇතුළත් විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටින් පලා ගොස් ඇති අතර, ඩුබායි සිට ඉන්දියාවට පැමිණ ඇත්තේ ද එම ව්‍යාජ ලේඛන භාවිත කරමිනි. ඉන්දියාවේ රැඳී සිටිමින් ග්‍රීසිය සඳහා වීසා ලබා ගැනීමට ඔහු උත්සාහ කර තිබේ.
අපරාධ වාර්තා පිරික්සීමේදී 2011 වසරේදී කරන්දෙණිය රෝහලේ සේවය කළ වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහ මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේ මොහුය. මීට අමතරව මීටියාගොඩ, හික්කඩුව, අහුංගල්ල ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ මිනිස් ඝාතන 6ක් සහ ගිනිඅවි ළඟ තබා ගැනීමේ සිද්ධීන් 3ක් සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී ඇත. පොලිස්පතිවරයාගේ නියෝග මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දුන් සැකකරු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු හෙළි කර ඇත්තේ සිය සහෝදරයා වන කරන්දෙණියේ සුද්දා මේ වන විට ඩුබායි රාජ්‍යයෙන් බැහැරව යුරෝපීය රටක සැඟව සිටින බවයි.













