නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1,302ක තොගයක් කල්පිටිය, කුඩාව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව පසුගිය 18 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදු කර ඇත.
වයඹ නාවික විධානයේ ‘ශ්‍රී ලංකා නාවික නෞකා විජය’ ආයතනය මඟින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, කුඩාව ප්‍රදේශයේ පිහිටි ළඳු කැලෑවක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ සැකකටයුතු උර 42ක් සොයාගෙන තිබේ. ජාවාරම්කරුවන් විසින් පසුව බෙදාහැරීමේ අරමුණින් මෙම තොගය සඟවා තබන්නට ඇති බව නාවික හමුදාව විශ්වාස කරයි.
අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.














