මෙරට මහ නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 276ක් ඇතුළු සමස්ත පළාත් පාලන ආයතන 341ම සේවා සැපයීම් සහ ගෙවීම් මාර්ගගත (Online) ක්‍රමයට සිදු කළ හැකි පරිදි ඩිජිටල්කරණය කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. වත්මන් රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ කඩිනම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) කොළඹදී පැවැත්විණි.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණේ බදු ගෙවීම්, ජල බිල්පත්, බලපත්‍ර ලබා ගැනීම් සහ පැමිණිලි ඉදිරිපත් කිරීම් වැනි සියලු සේවා පාරිභෝගිකයාට නිවසේ සිටම ඉටු කර ගැනීමට මෙහිදී අවස්ථාව ලැබෙන බවයි. මෙමගින් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, නාස්තිය හා දූෂණය අවම කිරීමටත් අපේක්ෂිතය.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්වය වන්නේ රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, බාහිර පාර්ශ්වයන්ට මුදල් වැය නොකර සියලු ආයතන මධ්‍යගත පද්ධතියකට ඒකාබද්ධ කිරීමට හැකි වීමයි. ඩිජිටල් ගනුදෙනු දිරිගැන්වීම සඳහා ඉදිරියේදී විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය විය.














