ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික අවහිර කිරීම් අවසන් කිරීමේ අරමුණින් දෙරට අතර විශේෂ සාකච්ඡා වටයක් පැවැත්වූ බව කියුබාව අද (21) තහවුරු කළේය. කියුබාවේ බලශක්ති අවශ්‍යතා අවහිර කිරීම හේතුවෙන් මෑතකදී දෙරට අතර ඇති වූ දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙම සාකච්ඡා පවත්වා තිබේ.
මෙම සාකච්ඡා සඳහා ඇමෙරිකාව නියෝජනය කරමින් සහකාර රාජ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් ද, කියුබාව නියෝජනය කරමින් එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ. තර්ජන කිරීම්වලින් තොරව, ගෞරවනීය සහ වෘත්තීය මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට කියුබාව සැමවිටම සූදානම් බව එරට විදේශ අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කළ පරිදි එම නියෝජිත පිරිස කිසිදු තර්ජනයක් හෝ කාලසීමා පැනවීමක් සිදු නොකළ බවත්, ඉතා සාමකාමී මට්ටමින් අදහස් හුවමාරු කරගත් බවත් කියුබාව නිකුත් කළ නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














