මුදල් අමාත්‍යාංශයේ මුදල් ව්‍යාජ ඊමේල් පණිවිඩයක් (Spam) හරහා හොර ගිණුමකට බැර කිරීමේ මූල්‍ය වංචාව ඇතුළු තවත් දූෂණ ක්‍රියා කිහිපයක් යට ගැසීමට රජයට සහ ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුව ඇති මෙම ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය මෙතෙක් නිසි නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා මේ පිළිබඳව සෘජුව වගකිව යුතු බවත්, නිලධාරීන් කිහිප දෙනෙකු ඉවත් කිරීමෙන් පමණක් මෙම වගකීමෙන් මිදිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
මීට අමතරව, ගල්අඟුරු වංචාව සහ කන්ටේනර් 323ක ගනුදෙනුව වැනි සිද්ධීන් යට ගැසීමට කොමිෂන් සභා පත් කරමින් රජය කාලය මිඩංගු කරන බවට ද ඔහු චෝදනා කළේය. ලෝක වෙළෙඳපොළේ වැඩිම මිලට තෙල් මිලදී ගත් රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත්, මෙම සියලු වංචා සහ පාඩු අවසානයේ ජනතාව මත පටවන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.















