විගණන වාර්තාවක් නිකුත් වූ පමණින් එය සම්පූර්ණයෙන්ම පිළිගත යුතු බවට නීතියක් නොමැති බවත්, ඒ පිළිබඳව පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමට ඕනෑම ආයතනයකට අයිතියක් ඇති බවත් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වී ඇති විගණන ගැටලු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ගල්අඟුරු ගනුදෙනුව පිළිබඳව විමර්ශනය කිරීමට මේ වන විටත් ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කර ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, විගණන වාර්තාව පදනම් කරගෙන චෝදනා නඟන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම කොමිසම හමුවට ගොස් සාක්ෂි ලබා දීමට දැන් අවස්ථාව ඇති බව ද සඳහන් කළේය. අජිත් පී. පෙරේරා සහ මරික්කාර් යන මන්ත්‍රීවරුන් මෙම අවස්ථාව භාවිත කරමින් “හොරුන් එල්ලීමට” සහාය විය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
විගණනයකදී විවිධ කරුණු මතු වීම සාමාන්‍ය ස්වභාවයක් වුවත්, අදාළ පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ඇති අයිතිය විගණන ක්‍රියාවලියේම කොටසක් බව රණසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

















