මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා සිදුවූ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අලාභය රජය විසින් හිතාමතා සඟවාගෙන සිටි එකක් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අවධාරණය කරයි. මෙය සැලසුම් සහගත වංචාවකට වඩා සන්නිවේදන ක්‍රියාවලියේ පැවති දුර්වලතාවයක් හේතුවෙන් සිදු වූවක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවීමට තිබූ මුදල්, හැකර්වරුන්ගේ බලපෑම මත වෙනත් ගිණුමකට බැර වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම සිදුවීම සැලවූ වහාම අවශ්‍ය නීතිමය පියවර ගත් බවත්, ඉන්දියාවට සිදු කිරීමට තිබූ තවත් එවැනිම ගෙවීමකදී ඉදිරිපත් වූ වැරදි ගිණුම් අංකයක් හඳුනාගෙන එය වළක්වා ගැනීමට රජය සමත් වූ බවත් ඔහු පැවසීය.
විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළේ වගකිවයුතු රජයක් ලෙස හැකර්වරුන්ට තමන්ගේ උපක්‍රම වෙනස් කිරීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට සහ මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලියට බාධාවක් නොවන සේ ආරක්ෂිත පියවර ගැනීමට බව මන්ත්‍රීවරයා මෙහිදී පැහැදිලි කළේය.
විපක්ෂය නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවයි. මීට අමතරව අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.














