ගලේවෙල, අලුත්වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF), ගුවන් හමුදා බුද්ධි අංශය සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී දැඩි ලෙස ආරක්ෂිත මුහුදු බෙල්ලන් විශේෂ සහ සත්ව කොටස් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව දඹුල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කුරුණෑගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී ආරක්ෂිත මුහුදු බෙල්ලන් 42ක්, මුව තට්ටුවක් සහ මුව අං කොටස් කිහිපයක් සොයාගෙන තිබේ. සොයාගත් බෙල්ලන් අතර දැඩි ලෙස ආරක්ෂිත “සුමට මකුළු බෙල්ලන්” (Smooth Spider Conchs) 20ක් සහ මෙතෙක් හඳුනා නොගත් වෙනත් විශේෂවලට අයත් බෙල්ලන් 22ක් සිටින බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගලේවෙල, අලුත්වැව සහ පත්කොලගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් මෙම සත්ව කොටස් විකිණීම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරේ. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි විමර්ශන සඳහා වනජීවී නිලධාරීන් වෙත භාර දී ඇත.














