වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ රටක ආහාර සුරක්ෂිතතාව යනු රටේ ස්ථාවරත්වය, ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අද (28) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති “සැප්” (SAPP) ජාතික තරුණ කෘෂි – ව්‍යවසායක ප්‍රදර්ශනය අමතමින් ඇය මේ බව පැවසුවාය.
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂි ව්‍යවසායකයින් ලෙස සවිබලගැන්වීම රටේ නිෂ්පාදන ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයයි.
කොවිඩ් වසංගතය මෙන්ම වත්මන් මැද පෙරදිග යුද ගැටුම් වැනි තත්ත්වයන් හමුවේ ආහාර සැපයුම් දාමයන් අවහිර විය හැකි බැවින්, ආහාර සුරක්ෂිතතාව නොමැති වුවහොත් රටක ආර්ථිකය දැඩි අභියෝගයකට ලක්වන බව ඇය පෙන්වා දුන්නාය.
දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට තරුණ ව්‍යවසායකයින්ගේ දායකත්වය අත්‍යවශ්‍ය වේ. කෘෂි ව්‍යවසායකයෙකුගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් පමණක් නොව රටේ ජාතික ආරක්ෂාව උදෙසා කෙරෙන සෘජු මැදිහත්වීමකි.
නිර්මාණශීලී තරුණ ප්‍රජාව වෙනුවෙන් IFAD සහ SAPP වැනි ආයතන ලබා දෙන සහයෝගය අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය K.D. ලාල් කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














