ආබාධ සහිත තැනැත්තන් සඳහා 2026 අයවැය මගින් වෙන් කර ඇති ප්‍රතිපාදන සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යාංශ කිහිපයක් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විය.
විශ්වවිද්‍යාල සඳහා ආබාධ සහිත සිසුන් බඳවා ගැනීම 203 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතය. සෑම විශ්වවිද්‍යාලයකටම යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 25-50 අතර මුදලක් වෙන් කර ඇති අතර අඩු ආදායම්ලාභී ආබාධ සහිත සිසුන්ට රුපියල් 5,000ක අමතර මාසික දීමනාවක් ලබාදීමට ද තීරණය විය.
ආගමික හා ඓතිහාසික ස්ථානවලට ආබාධ සහිත පුද්ගලයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි යටිතල පහසුකම් සැපයීමට මධ්‍යම සංස්කෘතික අරමුදල හා සම්බන්ධීකරණය වීමට තීරණය විය.
බස්නාහිර පළාතේ ආබාධ සහිත පුද්ගලයන්ගේ සනීපාරක්ෂක පහසුකම් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති අතර ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා සපුරාලන “ආදර්ශ සැලසුම්” මත නිවාස ඉදිකිරීමට නිවාස අමාත්‍යාංශය එකඟතාව පළ කළේය.
ආබාධ සහිත ක්ෂුද්‍ර හා කුඩා ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමේදී පවතින ගැටලු මගහරවා ගැනීම සඳහා “ණය ඇපකර යෝජනා ක්‍රමයක්” (Credit Guarantee Scheme) හඳුන්වා දීමට උපදෙස් ලැබුණි.
ආබාධ සහිත ප්‍රජාව සඳහා අවශ්‍ය ආධාරක උපකරණ (assistive devices) නිෂ්පාදනය කිරීමට සහ එම පර්යේෂණ වාණිජකරණය කිරීමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු විය.
මෙම සියලු සැලසුම්වල ප්‍රගතිය මාස හයකින් නැවත සමාලෝචනය කිරීමට සංසදය තීරණය කළේය. මෙම අවස්ථාව සඳහා මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ නිලධාරීන් සහ ආබාධිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන රැසක නියෝජිතයෝ සහභාගී වූහ.














