ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව කියුබාවට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව ඇමරිකානු සෙනෙට් මණ්ඩලය විසින් ඊයේ (28) පරාජයට පත් කරන ලදී. රෙපබ්ලිකන් පක්ෂයේ බහුතර බලය සහිත සෙනෙට් මණ්ඩලයේදී මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 47ක් සහ විපක්ෂව ඡන්ද 51ක් හිමි විය.
වෙනිසියුලාව සහ ඉරානයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගවලින් පසු “ඊළඟට කියුබාව” (Cuba is next) බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ මෙම යෝජනාව ඉදිරිපත් වූ නමුත්, රෙපබ්ලිකන් මන්ත්‍රීවරුන් තර්ක කළේ කියුබාව සමඟ මෙතෙක් සෘජු යුද ගැටුම් ආරම්භ වී නොමැති බැවින් එවැනි සීමා පැනවීම අනවශ්‍ය බවයි. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පාර්ශවය චෝදනා කරන්නේ කොංග්‍රස් අනුමැතියකින් තොරව ජනාධිපතිවරයා හමුදා බලය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.














