ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවති දකුණු මධ්‍යස්ථානයේ (South Centre) 26 වැනි කවුන්සිල රැස්වීමේදී ශ්‍රී ලංකාව බහුපාර්ශ්විකත්වය වෙනුවෙන් වන සිය ශක්තිමත් කැපවීම යළි තහවුරු කර තිබේ. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ස්ථිර නියෝජිත තානාපති සුමිත් දසනායක මහතා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය දශක තුනක කාලයේ ජාත්‍යන්තර වෙළෙඳාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බදුකරණය, දේශගුණික විපර්යාස, සංවර්ධනය සඳහා මූල්‍යකරණය, බුද්ධිමය දේපළ සහ සෞඛ්‍යය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දකුණු මධ්‍යස්ථානය ලබාදුන් තාක්ෂණික විශ්ලේෂණයන් සහ ප්‍රතිපත්ති නිර්දේශ ඉතා වැදගත් වූ බවයි.
දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බේකි මහතාගේ සභාපතිත්වයෙන් පැවති මේ 26 වැනි නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීමේදී දකුණු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානය යොමුව තිබෙන අතර, 1995 වසරේදී පිහිටුවන ලද දකුණු මධ්‍යස්ථානය ගෝලීය දකුණේ (Global South) රටවල අන්තර් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදක ආයතනයක් ලෙස ක්‍රියා කරයි. දැනට එහි සාමාජික රාජ්‍යයන් 55ක් සිටින අතර, මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ ආචාර්ය ගාමිණී කොරයා මහතා 2002-2003 කාලසමයේදී මෙම මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් අත්කර දී ඇති බව ද මෙහිදී සිහිපත් කර තිබේ.














